Cherreads

Chapter 21 - 21

මිගාන් තවමත් ඒ රෝහලේ ඇඳක් උඩ නිදි. බලාපොරොත්තු නොවුණු දේවල් මොහොතින් මොහොත සිද්ධ වෙන එක කොහොම වුණත් මේ දාමරික හිතට ඒක දරාගන්න බෑ. මිගාන්ගේ අණ පරිදි පන්නිපිටියට ඇවිත් ශ්‍රී සුමංගල මාවත ඇතුල් පාරට වැටුණ ජීප් රථය යන්නේ සත්සිඳුගේ බෝඩිම හොයාගෙන . ඒ ජීප් එකේ හිටියේ වෙනින් කවුරුවත් නෙවෙයි ජේකබ්.

මොන දේ අහකට දැම්මත් ජේකබ් කවදාවත්ම මිගාන්ගේ අණක් නම් පිලිපදින්නෙ නැතුව ඉන්නේ නෑ. හැම මොහොතකම මිගාන් වෙනුවෙන් , මිගාන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ඉදිරිපත් වෙන ජේකබ් එක මොහොතකට මිගාන්ට තාත්තා කෙනෙක් වගේ. තවත් මොහොතකට යාළුවෙක් වගේ. තවත් මොහොතකට සහෝදරයෙක් වගේ. ඉතින් ජේකබ්ට මිගාන් වෙනුවෙන් කරන්න බැරි දෙයක් නැති තරම්.

ශ්‍රී සුමංගල මාවතේ ඇතුල් පාරෙන් දාපු ජීප් එක නතර වුණේ සත්සිඳුගේ බෝඩිම ගාව. පැත්තකින් තිබුණ සේපාලිකා ගහ අතු පතර විහිදුවාගෙන බලන් උන්නේ ජේකබ්ව පිලිගන්න ලෑස්ති වෙලා වගේ. බෝඩිමේ මිදුලට ආව වාහනේ දිහා ජනේලෙකින් බලන් උන්නු දෙනුවර දොරත් විවර කරන් එළියට බැස්සේ මොකක්ද වෙන්නේ කියලා බලන්න .

ජීප් එකෙන් එළියට බැස්ස ජේකබ් බෝඩිමේ අවට වටපිටාව දිහා බැලුවේ හරි සුපරික්ෂාකාරී විදිහට . ඇස් ඒ මේ අත කරකව කරකව ඉඳලා දෙනුවර එයාගෙ කාමරේ දොරකඩ ඉඳන් හිටගෙන බලන් ඉන්නවා දැකපු ජේකබ් දෙනුවරත් එක්ක හිනා වී ගෙනම ඉස්සරහට ගියා. ඒත් එක්කම දොරකඩ හිටගෙන උන්නු දෙනුවරත් මිදුලට බැහැලා ජේකබ් ගාවට ඇවිදගෙන ආවේ ටිකක් විතර හිතේ සැකෙනුත් එක්ක.

" අර Daily Lanka newspaper එකේ journalist කෙනෙක් ඉන්නෙ සත්සිඳු මකරන්ද කියලා.. අ.. එයා ඉන්නෙ මෙහේ නේද ? "

ජේකබ් ඇහුවේ දෙනුවරගේ මූණ දිහා සෘජුවම වගේ බලාගෙන . දෙනුවරගේ හිත ඒ වුණාට පිරිලා තිබුණේ ලොකූ සැකයකින්.

" අහ්... ඔව්, මෙහෙ නම් තමයි.. ඒත්.. ඇයි දන්නෑ එයාව හොයන්නේ? "

දෙනුවර ඇහුවේ අර පුරුදු සැකයෙන්ම ටිකක් ගොත ගහ ගහා වගේ.

" අ.... මං එයාව දන්න කෙනෙක්.. මට දැනගන්න පුළුවන්ද එයා දැන් මෙහේ ඉන්නවද කියලා , මොකද මං එයාගෙ office එකටත් ගියා.. හැබැයි එතනින් කිව්වෙ අද ආවෙ නෑ කියලා.... "

ජේකබ් කිව්වෙ කොහොමින් කොහොම හරි දෙනුවරගේ කටින් උත්තරයක් ගන්න බලාපොරොත්තුවෙන්.

" ඇත්තෙන්ම.. දැන් එයා මෙහේ නෑනේ.."

දෙනුවර කිව්වේ මූණේ කිසිම හැඟීම් ප්‍රකාශනයක් නොකරමයි.

" ඒ කිව්වේ.. එයා මෙහෙන් ගිහින්ද? "

" නෑ නෑ.. එයා අද ගමේ ගිහින්.. මටත් හරියට විස්තරයක් කිව්වෙ නෑ.. කොහොම හරි ලොකු හදිස්සියක් වෙන්න ඕනි.. අද උදේම වගේ ගිහින් තියෙන්නේ ? "

දෙනුවර ගොඩාක් දේවල් හංගගෙන උත්තර දුන්නා.

" එතකොට එයාගෙ ගම ගැන මොකුත් දන්නෙ නැද්ද ? මං අහන්නෙ කොහෙද කියලවත්... "

ජේකබ් ඇහුවේ තවත් වැඩිදුර විස්තර ටිකක් හොයාගන්න . ඒත් සැක සහිත හිතෙන් කිව්වෙම මොකුත් කියන්න එපාම කියලා . ඉතින් දෙනුවර හැමදේම හංගගෙන බොරු ටිකක් කියලා ජේකබ්ව යවන්න තීරණය කළා .

"එයාගෙ ගම නම් ගාල්ලේ.. හැබැයි හරියටම කියන්න දන්නෑ කොහේ කෙනෙක්ද කියල නම්.. "

" අහ් එහෙමත් එකක්ද? අ...හරි කමක් නෑ.. මං ගිහින් එන්නම්.. ගොඩාක් ස්තූතියි... "

ජේකබ් එතනින් පිට වෙලා යන්න ඉස්සර ආයෙමත් පාරක් දෙනුවර ජේකබ්ට කතා කළා.

" එතකොට කවුරු ආවා කියලද කියන්න ඕනි.. "

" නෑ කමක් නෑ.. එයා ආයෙමත් ආපු දවසක මං එයාව මුණ ගැහෙන්නම්කෝ... "

ජේකබ් පිටිපස්ස හැරෙන්නෙ නැතුව බෙල්ල විතරක් හරවලා දෙනුවර දිහා බලාගෙන කිව්වේ යාන්තමට හිනා වෙලා. කළු පාටින්ම ඇඳගෙන ඇවිත් සත්සිඳුව හොයන නින්ජාකාරයා දිහා දෙනුවර බලන් හිටියේ බයෙන් සැකෙන් දෙකෙන්ම.

ඒත් එක්කම වගේ ජීප් එකට නැග්ග ජේකබ් පිටවෙලා ගියේ ගිනි මකරෙක් ගිනි පිඹින්න තරම් වේගයෙන් . ඒ දිහා ඇස් දල්වාගෙන පුදුමයෙන් බලන් උන්නු දෙනුවර එහෙම්මම කාමරයට ගිහින් දොර වහගෙන කල්පනා කළේ මේ ගැන සත්සිඳුට කියනවද නැද්ද කියලා . ඒත් ඉතින් කොල්ලා ඉන්න තත්වෙත් එක්ක මේ ගැන නොකියා ඉන්න එක හොඳයි කියලා දෙනුවර තීරණය කළා .

ගාල්ලේ ටවුන් එකට ගිහින් එතනින් එහාට ටැක්සියක් ගත්තු සත්සිඳු හිටියේ හරි සිහි කල්පනාවක නම් නෙවෙයි. ඒ ඇස් අග රැඳුණු ලා කඳුළු බිංදුවක් හැම තිස්සෙම වගේ තනියට උන්නා. නිල්ම නිල් පාට මුහුදට මෙහායින් වැටුණ පාර දිගේ ඉස්සරහට ඇදෙන ටැක්සි එකේ දකුණු පැත්තේ කොණටම වෙලා ඈත මුහුද දිහා බලාගෙන යන සත්සිඳුට ආයෙමත් දැනෙන්න ගත්තේ හුරුපුරුදු සුපුරුදු බවක්.

කොළඹ අහස යට දූවිලි කාන්තාරයක් මැද්දෙ ගෙවපු කටුක කර්කෂ ජීවිතෙ මොහොතකට ඈත් වෙලා ආයෙමත් ගමට එද්දි දැනෙන ඒ අත්දැකීම මෙහෙමයි කියලා වචනවලින් කියලා නිම කරන්න බැරි තරම්. ඒත් අද එන්නේ ඒ සුපුරුදු සැනසීම හොයාගෙන නොවන තැන අර ඇස් දෙකට තත්පරෙන් තත්පරේට කඳුළු උනන්නේ එයාටත් නොදැනිමයි.

ඈත නිල්වන් මුහුද.. ඒත් එක්කම වෙරළට ඔබ්බෙන් රේල් පාර.. රේල් පාරට අඩි ගාණක් මෙහායින් මහ පාර.. වැල්ල දිගට තියෙන ගෙවල් පෝළිම ලං වෙද්දි කොල්ලට අර සුපුරුදු ගතිය , හුරුපුරුදු ලෙන්ගතුකම ආයෙමත් දැනෙන්න ගත්තා.

ධීවර ගම්මානයට යන මාවතේ එක තැනක ඉඳලා එක දිගට ධීවර සමිතියේ අවමංගල්‍යාධාර විදිහට දෙන සුදු පාට කොඩි සමූහය පාර දිගට ලෙල දෙන්නෙ මුහුදු සුළඟත් එක්කමයි . වෙනදා නම් ඒ වගේ දෙයක් දැක්කම ආසාවෙන් හිනා වෙලා හැඩ බලන ඇස් අද කඳුළු පුරවගෙන ඔහේ බලන් යන්නේ මැලවුණ මලක් ගාණට.

එක තැනකින් නතර වුණු ටැක්සි එකෙන් බහින්න මොහොතකට පෙර driver දිහාවට රුපියල් දාහක් දිගු කරපු කොල්ලා රෙදි බෑග් එකත් අරන් බැස්සේ ඉතුරු සල්ලිවත් ගන්නෙ නැතුවමයි. ටැක්සි driver කොච්චර කතා කළත් කොල්ලා ඉස්සරහට ඇදුණේ මොකුත්ම නෑහෙන ගාණට සුදු පාට අරලිය මල් ගොඩක් මැද හිනා වෙලා ඉන්න කිරි අම්මගේ පින්තූරය දිහා බලාගත්තු ගමන්මයි.

හෙමින් හෙමින් අඩි තිය තිය ඒ බැනර් එක ගාවට ළඟා වුනු සත්සිඳු මොහොතකට ගල් ගැහිලා වගේ බලන් උන්නේ ඒ බැනර් එකේ හිනා වෙලා ඉන්න ආදරණීය ආත්මය දිහා. එදා වගේම ඒ හිනාව හරි සුන්දරයි . අව්‍යාජනීයයි.

පටුවතගේ සීලවති කියලා ගහපු ලොකු බැනර් එක , සුදු පාට කොඩි අරන් ආව වෙන් වීමේ පණිවිඩය සත්සිඳුට තවත් නම් මොහොතක් දරාගන්න බෑ. අඬන්න ඒ ඇස්වල තවත් කඳුළු නැති තරම් . කිරි අම්මා වෙනුවෙන් කලින් දවසේ රෑ දෙනුවරට වාරු වෙලා හෙලපු කඳුළු ගංගාවම හිඳිලා ගිහින් ගානයි.

ඒත් නියඟයට ගොදුරු වෙලා සිඳී ගිය දිය කඳුරක් ගානට ඒ ඇස් දෙකට කොහේදෝ තිබ්බ කඳුළු ටිකක් ගලාගෙන ආවේ හිතාගන්නවත් බැරි විදිහට .

" කි..කි..කිරි අම්මේ..ම..මගෙ කිරි අම්මේ.. අනේ...! අනේ...! ඇයි මගෙ රත්තරනේ මේ.. ඇයි.. ඇයි ඔයාගෙ සුදු චූටිව තනි කරලා දාලා යන්න ගියේ? ම්ම්... කියන්න මට.. ඇයි ඒ... ඇයි සුදු චූටි ළඟ හිටියේ නැති හින්දද? ආ... නැත්නම්.. නැත්නම් වෙන මොකක් හරි ව්..වැරැද්දක් කලාද මං... "

බිඳුණු කටහඬකින් ගොත ගහ ගහා හීනි ඉකියක් හිර කර ගන්න ගමන් සත්සිඳු මුමුණන්න වුණේ අර බැනර් එකේ සුදු පාට අරලිය මල් ගොඩක් මැද හිනා වෙලා ලස්සනට බලන් ඉන්න කිරි අම්මගේ පින්තූරය ඇඟිලි තුඩු අගින් යාන්තමට පිරිමදින ගමන්.

ඒත් එක්කම සත්සිඳුගේ පිටිපස්සෙන් ඇවිත් කවුදෝ රළු අත් දෙකකින් එයාගෙ උරහිස් දෙක අල්ලන් වාරු කරගත්තේ හරියට ගහක් අතු දරාගන්න වගේ ලෙන්ගතුකමකින්.

" අපි යමු සුදු චූටි.. දැන් මෙතන හිටියට වැඩක් නෑනේ.. "

ඒ රළු දෑත්වල අයිතිකාරයා කිව්වේ හරි ආදරෙන්.

" පන්හිඳ අයියේ.. මේ..මේ මොකක්ද වුණේ අයියේ?"

සත්සිඳුගේ ඇස්වල කඳුළු පුරවගෙන ඉද්දි පන්හිඳට හිතෙන්නෙම පොළව පලාගෙන යන්න. ඒ තරම් ආදරයකින් ඒ හිත පිරිලා ගිහින් . එක මොහොතකටවත් ඒ ඇස් දෙකට කඳුළක් දෙන්න පන්හිඳගේ හිත නම් පොඩ්ඩක්වත් ලෑස්ති නෑ.

පන්හිඳගේ හිත ඉල්ලන්නෙම සත්සිඳුගේ සතුට , සැනසීම විතරමයි . එක මොහොතකටවත් ඒ ඇස්වල රැඳෙන කඳුළකට පන්හිඳගේ හිතේ නම් කිසිම කැමැත්තක් නෑ.

" සුදු චූටි.. මං දන්නව සුදු චූටි.. ඔයැයිට දුකයි තමා.. අඬන්න එපාය කියලා මට ඔයැයිගෙන් ඉල්ලන්න බෑ සුදු චූටි.. ඒ ඔයැයිගෙ කිරි අම්මා... ඉතින් මං කොහොමද ඔයැයිගෙන් අඬන්න එපාය කියලා ඉල්ලන්නේ.. ඒත් සුදු චූටි වෙච්චි දේ වුණානේ මගෙ රත්තරනේ.. දැන් නාඬා ඉඳපන් මගෙ රත්තරනේ... උඹ ඔහොම අඬද්දි මට මගෙ පපුව වාවන්නෙ නෑ සුදු චූටි.... "

පන්හිඳ කියවගෙන කියවගෙන ගියේ සත්සිඳුව වාරු කරගෙන . සත්සිඳු ඒත් හිටියේ අර බොඳ කරගත්තු ඇස්වල කඳුළු පුරවගෙනමයි.

" අපි යමු සුදු චූටි... "

පන්හිඳ එහෙම්මම වත්තන් කරගෙන වගේ සත්සිඳුව එක්කගෙන ගියේ බෑග් එකත් එක අතකට ගන්න ගමන්. සත්සිඳුට නම් හරියට සිහියක් නැති ගානයි. එයා හිටියේ සිහියත් , අවසිහියත් අතර එක් තැනක නතර වෙලා .

වැල්ලේ ගෙවල් පෝළිමේ මැද්දට වෙන්න වගේ තිබුණ පුංචි ගෙදර ඉස්සරහ පිට ලොකු හට් එකක් ගහලා තිබුණේ ධීවර සමිතියේ ආධාරවලින්.ඇස් ඉස්සරහ පිට ගෙට ගොඩ වෙද්දිම තිබුණේ කිරි අම්මගේ නිසල සිරුර.

හරියට දෙපය ගෙට ගොඩ කරගන්නවත් බැරි තරමට ඒ දෙපය ගැහෙනවා. මුළු ඇඟම සීතල වෙලා ගිහින්. අත් දෙකත් ප්‍රාණයක් නැතුව වගේ ගැහෙන්න අරන්. සට සට ගාලා ඇස්වලින් වැටෙන කඳුළු බිංදුවලට ඔහේ වැටෙන්නම ඉඩ දීලා පන්හිඳගේ වාරුවෙන් මිදුණු සත්සිඳු සමාදානයේ සැතපිලා ඉන්න කිරි අම්මගේ නිසල දේහය ළඟට ගියේ අර වෙවුලන දෙපා දෙකට පොඩි පණක් එක්කහු කරන්.

ඒත් ඒ නිදන් ඉන්න හුස්ම නොගන්න ප්‍රාණියාගේ සුවඳ තවමත් , ඒ මොහොතෙත් සත්සිඳුට දැනෙන්න වුණා . කිරි අම්මගේ නිසල සිරුරේ දෙපා අසළට ගිය සත්සිඳු යාන්තමට පරිස්සමින් වගේ ඒ දෙපා දෙක අල්ලගත්තේ තවත් නම් ඒ පපුව අස්සෙ හිර කරන් ඉන්න වේදනාවවත්, ඇස් අස්සෙ හිර කරන් ඉන්න මහා කඳුළු සාගරයවත් දරාගන්න තරම් හයියක් නැති තැන..

" කිරි අම්මේ.... කිරි අම්මේ.... අනේ මගෙ..මගෙ කිරි අම්මේ....නැඟිටින්නකෝ මගෙ රත්තරනේ... ඔයාගෙ සුදු චූටි ආවා කිරි අම්මේ..... "

සත්සිඳු එහෙම්මම කියවගෙන කියවගෙන ගියේ හරි සිහියක් ඇතුව නම් නෙවෙයි. පැත්තක ඉඳන් ලාවට කඳුළු සලන නංගිවත් , අඬලම හෙම්බත් වෙලා ඉන්න අම්මවත් සත්සිඳු යාන්තමට වගේ දැක්කේ බොඳ වෙච්ව ඇස් දෙකේ කඳුළු අතරින්.

මේ ලෝකයේ , මේ විශ්වයේ සත්සිඳුගේ ආදරේ දිනා ගත්තු තවත් එක් ආදරණීයම ආත්මයක් මේ ලෝක තලයෙන් යන්නම ගිහින්. ඒ ප්‍රාණයේ අවසන් හුස්ම පොද මේ වා තලයට මුදා හැර අවසන්.. ඉතින් ඒ කිරි අම්මා කියන ආදරණීයම ආත්මයට තවත් මේ ලෝ තලයේ රැඳෙන්න අවසර නෑ..

" කිරි අම්මේ..කි..කිරි අම්මේ...කිරි අම්... "

සත්සිඳුට කියන්න පුළුවන් වුණේ ඒ වචන ටික විතරමයි. එක පාරටම ඇස් අස්සට කඩා ගෙන වැදුණු මහා ලොකු කළුවරක් ඇවිත් ඒ ඇස් නිලංකාර කරන්න ගත්තා. ඒ අර හිත අස්සේ නළියන වේදනාබර හැඟීම දරාගන්න බැරි තැන ඇස් අස්සට කඩා ගෙන වැදුණ ආක්‍රමණිකයෙක් ගානයි.

පපුව අස්සෙන් හූරගෙන වගේ ආව වේදනාවත් , දරාගන්න බැරි කඳුළු සාගරයත් එක විට උතුරා පිටාර ගලන් යන්න කිට්ටුව මහා රූස්ස ගහක් කඩාගෙන වැටෙන්න වගේ සත්සිඳු සිහිසුන් වෙලා බිම ඇද වැටුණේ කිරි අම්මගේ නිසල දේහය ඉස්සරහමයි.

" සුදු චූටිහ්..........."

දොරකඩට වෙලා රෙදි බෑග් එකත් උස්සගෙන බලන් හිටිය පන්හිඳ ලත් ඇසිල්ලෙම සත්සිඳු ගාවට දුවන් ඇවිත් සිහිසුන් සත්සිඳුව උකුලට ගත්තේ අර රෙදි බෑග් එකත් අත් හැරලමයි.

පන්නිපිටියේ ඉඳන් Durdans රෝහලට ඇවිත් ජේකබ් එහෙම්මම ගියේ මිගාන් හිටපු කාමරයට . මිගාන් ඒ මොහොතේ නම් හිටියේ නින්දෙන් ඇහැරිලා.

" මොකද වුණේ ජේකබ් ? "

ජේකබ්ව දැක්ක හැටියෙම කොල්ලා ඇහුවේ මූණේ හිනාවකුත් පුරවගෙන . ඒත් ඉතින් දෙන්න තියෙන උත්තරයත් එක්ක කොල්ලට මිගාන්වත් අමතක වෙලා , ඩිනෝවත් අමතක වෙලා , ඔක්කොම දේවල් අමතක වෙලා ගිහින් පතම පත ගැරඬි රාජයෙක් ආරූඪ වෙන බව නම් ජේකබ් දන්නවා. ඒ හින්දා ජේකබ් එකම එක වචනයක්වත් කතා නොකර එහෙම්මම බිම බලන් උන්නේ කිසිත් නොදන්න ගානට.

" ඇයි ජේකබ්.. මොකක්ද බං වුණේ ? "

ඒත් ජේකබ් නම් නිශ්ශබ්දයි . දැන් නම් කොල්ලට මිගාන් අමතක වෙලා ගැරඬියා ආරූඪ වෙන්න ඔන්න මෙන්න.

" ජේකබ්.......අහන දේට උත්තර දීපන් හුත්තෝ? මොකක්ද වුණේ ? කෝ කොල්ලා...... "

මිගාන් කෑ ගහන්න ගත්තේ ඉන්නෙ රෝහලක කියලත් අමතක කරලයි.

" සර්.. සර්.. "

ජේකබ් ගොත ගහන්න ගත්තා.

" ජේකබ්.....මට ඇත්ත කියපන්... මොකක්ද කොල්ලට වෙලා තියෙන්නේ ?"

කලබල වෙච්චි ගැරඬි හිත නම් හරියට දරුණු වෙලා. ඒත් එක්කම ඇඳ විට්ටමට කොට්ටෙකුත් තියාගෙන හේත්තු වෙලා හිටපු කොල්ලා එහෙම්මම ඇඳෙන් වාඩි වුණේ ටිකක් අමාරුවෙන් වගේ වුණත් ඒක එච්චර පෙන්නන්නෙ නැතුව .

" සර්.. මං Daily Lanka එකේ office එකටත් ගියා.. ඒත් සත්සිඳු සර් එතන හිටියෙ නෑ.. ඊට පස්සෙ මං බෝඩිමට ගියා.. එතනින් කිව්වා සත්සිඳු සර් ගමේ ගිහින් කියලා හදිස්සියක් කියලා... "

ජේකබ් දෙනුවර එයාට කියපු දේවල් ටික සේරම එහෙම්මම කියවගෙන කියවගෙන ගියේ ගැරඬියාගෙන් බේරුමක් නැති වෙන බව දන්න හින්දමයි .

" හදිස්සියක් කිව්වේ..... "

ගැරඬියා ඇහුවේ තව තවත් වුවමනාවෙන්.

" මං දන්නෑ සර්.. ඒ කොල්ලා සත්සිඳු සර්ගේ බෝඩිමේ ඉන්න එකෙක්.. ඌ හරියට විස්තරයක් කිව්වෙත් නෑ.. ගම ඇහුවා කොහෙද කියලා, ඒ කිව්වෙත් නෑ සර්... "

ජේකබ් කිව්වේ මිගාන් දිහා බලාගෙන හරියට අසරණ වෙලා වගේ.

' මං දන්නවා මගෙ කොල්ලෝ.. ඔයා කොහේ හරි ඇති.. ඔයා කොහේ හිටියත් මේ මිගාන් මුළු ලෝකෙම පෙරළලා හරි ඔයාව හොයාගන්නවා මගෙ දරුවෝ.. මට ඔයාව ඕනිම මොහොත මේ.. මට හරි පාළුයි මගෙ රත්තරන්.. මට ගොඩාක් පාළුයි.. ඉන්න තැනකින් ඉක්මනට මං ඔයාව හොයාගන්නවා... '

ඒ මොහොතෙදි ගැරඬියගේ හිත කිව්වෙ එහෙම . ඒ හිතේ පිරිලා ඉතිරිලා යන තරමටම ආදරේ තිබ්බට මොකද අර අහිංසකයා වැට උඩ ඉඳන් ඉන්නේ ඒ ආදරේද මේ ආදරේද කියලා හරියට හිතාගන්නවත් බැරුව.

ලෝකයම පෙරළලා හරි සත්සිඳුව හොයාගන්න කියලා නපුරු ගැරඬියගේ හිත කියද්දි තවත් නම් ඒ ගැරඬි හිතට ඉවසගෙන ඉන්න පුළුවන්කමක් නෑ.

" ජේකබ්... "

ටික වෙලාවක් ඔහේ කල්පනා ලෝකෙක තනිවෙලා හිටපු ගැරඬියා ජේකබ්ට කතා කළේ හිටපු හැටියෙමයි. ජේකබ් හිටියේ සුපුරුදු විදිහටම අත් දෙකත් බැඳගෙන.

" සර්..."

බැඳගෙන හිටපු අත් දෙකත් පහත දාලා ජේකබ් කොල්ලට කතා කළේ යටහත් පහත් විදිහට වුනාට මොකද ඒ සිරුරේ තිබුණ පෞරුෂත්වය නම් එක ඩිංගක් කිසිම ඉරියව්වක් ඇතුළෙදි අඩු වෙන්නෙම නැති තරම්.

" මට යන්න ඕනි... "

මිගාන් කිව්වේ අර සමහරක් තද තීරණ ගන්න කටහඬින්මයි.

" මොකක්...! "

" ඔව් හුත්තෝ... මට යන්න ඕනි. මට ඉක්මනට ගෙදර යන්න ඕනි.. "

මිගාන්ගේ ස්ථීරසාර තීරණ ගන්න අමුතු කටහඬ කියන්නෙම ඒ දේ කරන්න වෙනවාමයි කියලා .

" ඒත් සර්... "

" ජේකබ්..... මං කිව්වනේ.. මේ මිගාන් ගාව කතා දෙකක් නෑ.. තියෙන්නෙ එකයි.. මට ගෙදර යන්න ඕනි , දැන්මම.. එච්චරයි... "

මිගාන් කිව්වෙ හරිම සාමකාමී විදිහට වුනාට මොකද ඒ හඬ අස්සෙ තිබුණේ අනිවාර්යය අණකිරීමක්..

ඒත් එක්කම වගේ room එකේ දොරත් ඇරගෙන ජේකබ් එළියට ගියේ doctor ව මුණගැහෙන්න . ඒත් එක්කම මිගාන් ලොකු හුස්මක් අරන් ආයෙමත් ඇඳේ ඇලවෙලා සිවිලිම දිහා බලන් හිටියේ හිතේ කොණක පුංචිම පුංචි දුකකුත් පුරවගෙනමයි .

' සත්සිඳු , කොයි ලෝකේ හිටියත් මේ මිගාන් උඹව හොයාගන්නවමයි පුංචි කොල්ලෝ.. මේ හිත දැන් උඹ ගැන විතරමයි හිතන්නෙ.. ඉතින් මුළු ගාල්ලම පීරලා හරි මං උඹව හොයාගන්නවා මගෙ කොල්ලෝ.. හොයාගන්න එක හොයාගන්නවාමයි..

මට හරි පාළුයි බං.. ඉස්සර වගේ අර නුග ගහ යට උඹව දකිද්දි ඒ දැනෙන හැඟීමට මං හරි ලෝභයි මගෙ කොල්ලෝ.. ඒකමයි මං මෙච්චර ආදරෙත්.. කවදාවත්ම නොදැනුනු හැඟීමකින් මගෙ හිත පිරෙව්වට.. මගෙ අහිංසක ආඩම්බරකාරයනේ උඹ.. ඉන්න තැනක පරිස්සමින් හිටපන් සත්සිඳු.. මේ මිගාන් උඹව හොයන් ඉක්මනට එනවා..

ආදරේ කියන දේ මට කියාදුන්නු උඹව හොයන් මං එනව මැණික.. උඹ නෑ කියලා හිතෙද්දි දැනෙන පාළුව මට දරාගන්න බෑ සත්සිඳු.. හරියට වඩු කුරුළු කූඩුවක් එලිය කරන කණාමැදිරියෙක් ගානට.. නෑ නෑ අමාවක අහසක් එළිය කරන්න ආව පුර හඳක් ගානට සෙල්ලක්කාර මගෙ ජීවිතේ එළිය කරන්න දෙයියෝ මට එවපු මගේ සුර කුමාරයා.. මගේ පුංචි දේව දූතයා.. මං උඹට පණටත් වඩා ආදරෙයි... '

ඒ මිගාන්ගේ හිත. අනන්තවත් බලාපොරොත්තු කන්දරාවක් පොදි ගහගෙන ආදරේ වෙනුවෙන් මුළු ආත්මයම වෙන් කරපු ආදරණීය ගැරඬියගේ හිත. ඉතින් එහෙව් හිත අර අහිංසක ඇස් ගැන ලොකු කල්පනාව අහවර කළේ hospital එකේ එයා හිටපු කාමරේ දොර විවර වෙන සද්දෙත් එක්ක .

මීළඟ කොටසට ...

More Chapters