Cherreads

Chapter 30 - 30

රැජින පාර දිගේ ඉස්සරහට ඇදුනු සත්සිඳු office එකට ගිහින් එයාගෙ කැබින් එකට ඇතුළු වුණා. ගොඩ දවසකින් ආපු නිසාදෝ මන්දා කට්ටියම වගේ එයා දිහා ඇස් හරව හරව බලන්න වුණේ ග්‍රීක සෙන්පතියෙක් දිහා බලන් ඉන්නව වගේ. මළගෙදර දවස්වලම ලොක්කට කතා කරලා කිව්ව නිසා එයා නම් ශේප් . ඒත් ඉතින් තවත් සුළු මොහොතකින් එයාගෙන් අහන්න නියමිත වෙලා තිබුණු ප්‍රශ්න පත්‍රයට පිළිතුරු දෙන්නෙ කොහොමද කියන සාධාරණ ගැටළුව එයාගෙ හිතේ කොණක වගේ තිබුණා.

ජීවිතේටවත් කාලා නැති ජාතියේ අමුතු කෑම ජාතියක් දුන්නු පෙට්ටිය එයා ඉස්සරහ තියෙනවා. කොල්ලා ඒ box එක අතට අරන් නහයට ළං කරලා බැලුවා . අම්මෝ ඒක නම් පුදුමාකාර සුවඳක්. හරියට කිරි ටොෆී සුවඳක් වගේ. ඒ කොහොම වුණත් බර්ෆි කියලා කෑම ජාතියක් ගැන නම් එයා මීට කලින් අහලා තිබුණේ නෑ.

ඒත් ඒ එන සුවඳට නම් රස දිව ඇවිස්සෙනවා. ලොක්කා ආවේ ඒත් එක්කම වගේ කට පුරෝලා හිනා වී ගෙන.

" හම්මට සිරි.. කොල්ලො උඹ ආවද? "

ලොක්කා ඇහුවේ කොල්ලගෙ කැබින් එකට එන ගමන්. ඇවිල්ලා එයාගෙ table එකට අත් දෙක තියාගෙන table එකට බර වුණු ලොක්කා බලන් හිටියේ කොල්ලගේ මූණ දිහා. කොල්ලත් ඔහේ හිනා වී ගෙනම බලන් ඉන්නවා.

" යකෝ... ප්‍රශ්නයක් ඇහුවාම උත්තර දීපන්...."

ලොක්කා කිව්වෙ එතනින් පුටුවක් ඇදලා වාඩි වෙන ගමන්. ලොක්කා එනව දැකලා නැඟිටපු කොල්ලා ලොක්කා වාඩි වුනාට පස්සෙ ආයෙමත් එයාගෙ පුටුවෙන් වාඩි වුණා.

" මොකක්ද සර් ? "

" උඹ ආවද කියලා ඇහුවේ.... "

සර් කාරයත් ඉඳල ඉඳලා අහන්නෙම මහ විගඩම් ප්‍රශ්න. ඇවිත් ඉන්නව කියලා හොඳාකාරවම දැක දැකත් උඹ ආවද කියලා අහනවා . ඔන්න ඕවට තමයි කොල්ලට යක්ෂාරූඪ වෙන්නේ.

" ඔව් සර්... ආවා ඉතින්.."

එයා උත්තර දුන්නේ සාමාන්‍ය විදිහට .

" හ්ම් හ්ම්... එහෙනම් වැඩ ටික කරන් පලයන් කොල්ලෝ... පරිස්සමින්.... "

ලොක්කා එහෙම කියලා කොල්ලගේ table එකෙන් ඇදලා ගත්තු පුටුව ආයෙමත් එතනින් තියලා කැබින් එකෙන් පිටත් වෙලා ගියා.

කොල්ලා එතනින් යන්න ගිය සර් කාරයා දිහා ඔහේ බලන් උන්නේ මූණේ කිසිම හැඟීම් ප්‍රකාශනයක් නැතුව. බර්ෆි පාර්සලය දිහා තව පාරක් බලලා එයා ඒ box එක ලිහලා බැලුවේ හොරෙන් හොරෙන්.. මොකද ඒකෙන් එන සුවඳේ හැටියට කට්ටිය දැක්කොත් එහෙම ඔක්කොටම බෙදන්න වෙනවා.

ඉතින් කොල්ලා හෙමින් සැරේ හොරෙන් හොරෙන් box එක ලිහලා බැලුවා. කිරි සුවඳ දැනෙන බර්ෆි කෑලි හරියට කිරි අම්මා ඉස්සර හදලා දෙන කිරි අලුවා වගේමයි. ඒත් වෙනස්කම් ගොඩයි. බර්ෆි හදද්දි එකතු කරලා තිබුණේ fruit and nut.. ඒවත් එක්ක බර්ෆි කෑලිවලට හොඳ ලස්සන පෙනුමකුත් එක්කාසු වෙලා තිබුණා.

' අම්මෝ.... ! මේවයෙ සුවඳ... '

එයාගෙ හිත හිතුවෙ එහෙම. කිරි අලුවා වගේම සුදු පාට වුනාට මොකද fruit and nut මිශ්‍ර කරලා තිබුණු නිසා ඒවා හරි ලස්සනයි .

එච්චර රස කෑමක් දැක දැක අතවත් කටවත් නිකන් තියන් ඉන්න පුළුවන්කමක් නැති නිසාම එයා කළේ බර්ෆි කෑල්ලක් අරන් කාටත් නොපෙනෙන්න කටට දාගත්තු එක. කිරි රසත් එක්ක මුහු වෙලා fruit and nut රස කොල්ලට හරි හරියට දැණුනා. කාපු එකම බර්ෆි කෑල්ලෙන්ම කොල්ලට ඒක හිතට අල්ලලා ගියා. මේ ටික office එකේ ඉන්න අනිත් මල පෙරේත හැත්තට අහු වුනොත් නම් ඉතින් box එකවත් හොයන්න බැරි වෙන බව කොල්ලා දන්නවා. ඒ හින්දම කොල්ලා කළේ එයාගෙ side bag එකේ එක පැත්තකට බර්ෆි box එක දාගත්තු එක..

නපුරු වුණත් ගැරඬියගෙ හිත නම් හරි ලස්සනයි. එයා ආදරේ කරන්නෙ හරි පුදුමාකාර මායාකාරි හදවතක අයිතිකාරයෙක් විදිහට . ජීවිතේ ඇත්තෙන්ම එහෙම මිනිස්සු මුණගැහෙන්නෙ හරිම කලාතුරකින්. එහෙම මිනිස්සුන්ට යන්න නොදී ළඟින්ම තියාගන්න තරම් සත්සිඳු ලෝභ වුනාට මොකද ගැරඬියගේ හිතේ තියෙන සිතුවිලිත් එක්ක නම් එයාට එහෙම යන්න නොදී තියාගන්න බෑ. මොකද එයාගෙ හිත ඉල්ලන ආදරේ දෙන්න බැරි තත්වෙකයි කොල්ලා උන්නේ. ඒ එයාගෙ හිත පන්හිඳ වෙනුවෙන් ලියලා දීලා තිබුණු නිසා..

කල්පනාවෙන් කල්පනාව දහසකුත් දේවල් එයාගෙ හිතට එනවා. ඒවා වෙන් කරලා හරියාකාර විදිහට අඳුන ගන්න බැරි වෙලා තියෙන්නේ හරියට ඇස් දෙකේ දැල් බැඳලා වගේ. නීතියේ දෙවඟනගේ ඇස් රෙදි පටියකින් බැඳලා තරාදිය සමබර කරන්න ගත්තු උත්සාහයක් වගේ එයාටත් සිද්ධ වෙලා තියෙන්නේ දෙපැත්තම සමබර කරන්න.

මොකද එයා පණ වගේ ආදරේ කරන පන්හිඳව එයාට නැති කර ගන්නත් බෑ. ඒ වගේම මහා ලොකු ආදරයක් දෙන්න ඒ පපුවෙ ඉඩ හසර වෙන් කරන් ඉන්න මිගාන්ව අමතක කරන්නත් බෑ. දෙලොවක් අතර තනි වුනාට මොකද එයාගෙ හිත කියන තරාදිය නම් ගොඩක් බර පන්හිඳගේ පැත්තට.

කම්මැලිකමෙන් ගෙවෙන දවස් වෙනුවට එයා ජීවිතයට එන්න පටන් ගත්තත් හරි උදා වුණේම හරි උද්‍යෝගිමත් දවස්. බිස්නස් වැඩවල මහ ලොකුවට කියලා බලන්න දෙයක් තිබුණේ නෑ. ඉතින් ගැරඬියා හැම තිස්සෙම වගේ ජිම් එකට යන්න අමතක කළෙත් නෑ. බර්ෆි box එක සත්සිඳුගේ අතට දීලා එයා ගියේ ජිම් එකට..

දවස තිස්සෙම වගේ වෙහෙස මහන්සි වෙලා tea time එකේදී කාටත් හොරෙන් side bag එක විවර කරලා බර්ෆි කෑල්ලක් කටේ දාගත්තු සත්සිඳු තේ වෙනුවට කහට ටිකක් බිව්වේ.. ඇත්තෙන්ම එච්චර කිරි රසයි , පැණි රසයි මුහු වෙච්චි කෑමක් නම් කොල්ලා කෑවෙ පළවෙනි වතාවටද කොහෙද. කිරි අම්මගේ කිරි අලුවාවත් මෙච්චර රස නෑ.

බර්ෆි කෑල්ලකුයි , කහට කෝප්පයකුයි කියන්නේ වෙනම රසක්.. එයා tea time එකෙන් පස්සේ ආයෙමත් වැඩ ටික කරන්න පටන් ගත්තා. බර්ෆි කාලා කහට බොන අතරතුරේදිත් උදේ වෙච්චි අමුතුම සිදුවීම එයාට මතක් වුණේ නැතුව නෙවෙයි.

නපුරු ගැරඬියගේ පපුව ගැහෙන හඬ දැන් දැන් එයාට හරි හුරුපුරුදු දෙයක් ගානයි.. එයා ගාවින් ආපු ඒ සුවඳ. ඒක හරියට ජීවන සුවඳක් වගේ. එච්චරටම සැර නැති හරි සෞම්‍ය සුවඳක් එක්ක එයාගෙ පපුවට තුරුළු වෙලා ඉකිබිඳින කොට එයා සනසවපු හැටි. පන්හිඳ අයියගේ වගේම එයාගෙ ඇස් දෙකෙත් මහා මොකක්දෝ කියාගන්න බැරි තරම් ආදරයක් පිරිලා තිබුණා. දැන් නම් එයාට ටිකක් ලැජ්ජත් එක්ක වගේ..

' මට සමාවෙන්න සර්.. මං තවත් සර්ට බලාපොරොත්තු දෙනවද මන්දා.. ඒත් මට ඒ වෙලාවේ සර්ගෙ පපුවට වාරු වෙලා අඬනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් තිබුණේ නෑ සර්..'

ඒ එයා නෙවෙයි එයාගෙ හිත. සුදු පාට කොළයක් පුරාවටම කළු පාටින් කුරුටු බලි අඳින එයාගෙ අත.. සිහියත් අසිහියත් අතර තනි වෙලා දෙලොවක් අතර දෝලනය වෙන එයාගෙ හිත. එයා වෙනුවෙන් ලස්සන හිතේ ආදරයක් දෙන්න බැරි බව ඇත්ත.. ඒත් එයාව අත් හරින්නේ කොහොමද ?

කොච්චර නපුරු වුණත් , දරදඬු වුණත් එයාගෙ හිත කොච්චර නම් ආදරණීයද? නිමක් නැති සිතුවිලි ගොඩකින් වෙලා ගන්න සත්සිඳුගේ හිත දැන් නම් එයාටම අකීකරුයි. කොහෙන් කොහොම ගියත් එයාව එයාගෙ හිතෙන් ඈත් කරන්න එයාට ලෝභයි. මහ ලොකූ ලෝභකමකින් හිත පිරිලා යද්දි ආයෙමත් පන්හිඳ අයියා ඇවිත් එයාගෙ නිරවුල් මනස අස්සෙ හොල්මන් කරනවා.

නෑ නෑ නෑ... එයාව අමතක කරන්නත් බෑ. ජීවිතේ කාලයක් තිස්සෙ එයා ගාව රැඳුනු පන්හිඳ. කොහොම නම් ඒ ආදරනීය මනුෂ්‍ය පරාණය අමතක කරන්නද? දෙයියනේ... එයාව අමතක කළොත් කොල්ලට වැහි නැති හෙණ ගහයි.

දැන් නම් එයා හරියට හුණුවටයේ කතාවේ පුංචි කුමාරයා වගේ. එක පැත්තක නටාලියා අබෂ්විල්ලි. තව පැත්තක ගෲෂා..

සමයං වගේ ඔළුව කොලොප්පං වෙලා යන මොහොතක තමයි ඔය වගේ වේදිකා නාට්‍යවලුත් කොල්ලගේ ඔළුවට එන්නේ. එයාට දැන් නම් හිස කෙළින් තියාගෙන වැඩක් කරන්නත් බැරි තරම්. ළඟ රැඳෙන්නත් බැරි අත් හරින්නත් බැරි හිත් දෙකකට මැදි වෙලා ජීවත් වෙන්න ලැබෙන එක මොන තරම් පවක්ද? මීදුම් සේලයකින් වෙලාගෙන මුළු හිතම වහගෙන ඉන්න ඇත්නම්.. එහෙනම් මුළු ලෝකෙටම නොපෙනෙන්න එයාට මේ ලෝකෙන් දුරස් වෙලා ඉන්න තිබුණා. මනස දැන් දැන් හොඳ හැටි පිස්සු කෙළින්න පටන් අරන්.

' මොන පකක්ද මේ? මට වැඩක් කරන්නත් නෑ... '

එයාගෙ හිත එහෙම කිව්වේ එයාට විතරක්ම ඇහෙන්න. මොකද මේ නිමාවක් නැති කතාවල් මැද්දෙ රස්සාවට ඇවිත් කල්පනා කරන්න ගත්තට පස්සෙත් වෙන්නේ කොයි වෙලාවක හරි රස්සාවත් ගහලා යන එක.. එයා එහෙම හිතන්න පුරුදු වුනාට මොකද එයාගෙ ලොක්කා නම් එයාව නැති කරගන්නෙ නෑ. මොකද කොල්ලා තරම් හොඳට වැඩ කරන පොරක් ඒ ඔෆිස් එකේම නැති බව ලොක්කා දන්නවා.

හිස නම් දැන් පුපුරන්න වගේ. තවත් කල්පනා කරන්න ගියොත් නම් පිස්සු හැදිලා ආයෙත් පිස්සු හැදෙන බව කොල්ලා දන්නවා. ඔළුව කැක්කුම එන්න එන්නම වැඩි වෙන තැන එයා කලේ මේස ලාච්චුව විවර කරලා පැනඩෝල් පෙති දෙකක් කටට දාගෙන වතුර උගුරු තුන හතරක් බීපු එක..

පැනඩෝල් පෙති දෙකකින් හිතක් සුවපත් කරන්න පුළුවන් නම් මොනා කරන්න බැරිද.. ඒක ප්‍රායෝගික නෑ. ඒත් ඔළුවෙ කැක්කුමට නම් මේ ප්‍රතිකාරය හොඳ බව එයා දන්නවා. ඒත් ඉතින් ඔළුව කැක්කුම එන්නෙත් හිතේ කැක්කුම වැඩි නිසානේ..

එයා එහෙම්මම වාඩි වෙලා උන්නු පුටුවට බර වෙලා ඇස් දෙක පියාගත්තේ හිස කැක්කුමටත් වඩා හිත කැක්කුම වැඩි නිසා..

වෙලාව හවස දෙකටත් වෙලා. උදේ කොල්ලව බලන්න ගිහින් මිගාන් එහෙම්මම ආවේ ජිම් එකට.ජිම් එකට ඇවිල්ලත් එයා exercise කරද්දිත් එයාට ඉතින් අරයව මතක් නොවුනු වාරයක් නැති තරම්. එයාව මතක් වෙද්දිත් එයාගේ හිත නම් මෙහෙමයි කියල කියන්න බැරි තරම් හැඟීම් ගොඩකින් පිරිලා ඉතිරිලා යනවා. ඒවා වචනවලට පෙරළලා ලේඛනගත කරන්න ගියොත් නම් ජීවිත කාලෙමත් මදි.

හරියටම 2.10 ට විතර කොල්ලා ජිම් එකෙන් එළියට ඇවිත් එයාගෙ පණ වගේ තිබුණු kawazaki bike එකට නැගලා රූං කුරුල්ලා වගේ ගෙදරට ඉගිල්ලිලා ගියා. සත්සිඳු ජීවිතේට ආවත් හරි ඉස්සර වගේ නෙවෙයි දැන් මිගාන් . ඒ පරණ මිගාන් දැන් හරි වෙනස් වෙලා. ආදරෙත් එක්ක කළු ගල් වුණත් ඉතින් මල් පෙති වෙනව කියන්නේ නිකම්ම නෙවෙයි..

කම්මැලිකමෙන් ඔහේ නිස්කාරණේ ගෙවපු ජීවිතේට දැන් බලාපොරොත්තුවක් ඇවිත්. ජීවත් වෙන්න හේතුවක් නැතුව උන්නු එයාට දැන් ජීවත් වෙන්න හේතුවක් තියෙනවා. ජීවිතේ හරි පුදුමාකාර දෙයක් කියන්නෙ නිකන්ම නෙවෙයි. මොකද නොසිතූ මොහොතක නොසිතූ ප්‍රාණියෙක් ඇවිත් අපේ හදවත උදුරගන්නවා.

මේ ලොකේ සමහර මායාකාරී දවස් තියෙනවා කියනවනේ. ඒ මායාකාරී දවස් වලට සුන්දර හිත් තියෙන මායාකාරියෝ පහළ වෙනවලු. එයාලා සමහරක් අයගේ හිත් මායාකාරී විදිහට ආදරෙන් පුරවනවලු. හැබැයි ඩිනෝ මිගාන් සමරදිවාකර කියන දඩබ්බරයගෙ හිත නම් මායාකාරී ආදරයකින් පුරවලා තියෙන්නේ මායාකාරියක් නෙවෙයි අහිංසක මායාකාරයෙක්. අහිංසක...ඔව් ඔව් අහිංසක..එයා දන්න විදිහට නම් ඉතින් සත්සිඳු කියන්නෙත් අහිංසක මායාකාරයෙක් තමයි. එයාගෙ දඩබ්බර හිත උදුර ගත්තු..

බයික් එකේ ගිනි වේගෙන් ගෙදරට ආපු හින්දා පැය කාලකුත් මිනිත්තු විස්සකුත් අතර වෙලාවක් වගේ යද්දි කොල්ලට ගෙදර එන්න පුළුවන් වුණා. උදේ බාබු අන්කල්ට හදන්න කිව්ව fresh milk මග් එක කොහේද දන්නෙ නෑ.

කොල්ලා ගෙදරට ඇවිත් එහෙම්මම bathroom එකට ගිහින් wash එකක් දාගෙන හරියටම 3.30 විතර වෙද්දි එළියට ආවා. සුදු පාට ටවල් එකක් විතරක් ඇඟ දවටගෙන උන්නු එයා කණ්ණාඩිය ඉස්සරහට ගිහින් තෙත හිස කෙස් ටික ඇඟිලිවලින් ගසන ගමන් එයාගෙ සද්දන්ත හැඩි දැඩි පිරිමි සිරුර දිහා මොහොතක් බලන් උන්නා. හැඩි දැඩි කිව්වට එයාට තිබුණේ කඩවසම් පෙනුමක්. Gym ගිහින් හදාගත්‍තු sixpack ,arms එහෙම කොල්ලට එකතු කළේ පුදුමාකාර කඩවසම් බවක්. කෙල්ලෝ වහවැටෙන එක ඉතින් අහන්නත් දෙයක්ද..

එයාගේ සරාගී පිරිමි සිරුර දැක්ක ගමන් ආකර්ෂණය වෙන සිරුරක්. හැම මොහොතකම වගේ ජිම් එකේ ඉන්න නිසාමදෝ ඒ සිරුර හරි අපූරුවට හැඩ ගැහිලා.

ඒ සිරුරේ හැඩ බලන වෙලාවක් නෙවෙයි. ඒ හින්දා ගැරඬියා සුදු පාට ලිනන් ෂර්ට් එකට ලා නිල් පාට ඩෙනිම් කලිසමක් ඇඳලා සුදු පාට pillow slippers දෙකකුත් දාගෙන ආයෙමත් පහළට බැස්සා.

" සර්... සර් යන්නද? "

බාබු අන්කල් කොල්ලා පහළට බහිද්දිම fresh milk මග් එකත් අරන් හනි හනිකට දුවන් ආවා.

" ඔව් බාබු අන්කල් යන්න කියල හැදුවේ... "

" එහෙනම් මේක බීලම යන්ඩ සර්.. උදේ තේ බිව්ව හින්දා fresh milk එක බොන්න බැරි වුණානේ සර්ට... "

" අනේ ඕක මොකක්ද බාබු අන්කල්.. අර මොනාද මේ.. බර්ෆි... බර්ෆි හෙණ රසයි ඈ.... "

එයා කිව්වම බාබු අන්කල්ගේ මූණේ හරි ලස්සන හිනාවක් ඇඳුණා.

" සර්ගෙ යාළුවා මොකෝ කිව්වේ? "

Fresh milk මග් එකත් අතට අරන් බොන කොල්ලගෙන් බාබු අන්කල් ඇහුවම එයා ඒක බොන එක නතර කරලා බාබු අන්කල් දිහා බැලුවේ යාන්තමට හිනා වෙලා. බාබු අන්කල් කොල්ලගේ මූණ දිහා බලන් උන්නේ උත්තරයක් බලාපොරොත්තුවෙන්.

" එයාට මං දුන්න විතරයි බාබු අන්කල්.. අහන්න ඕනි කොහොමද කියලා... "

" එහෙනම් අනිවාරෙන්ම අහලා කියන්ඩ සර්... "

බාබු අන්කල් එහෙම කියද්දි කොල්ලා fresh milk මග් එකම හිස් කරලා බාබු අන්කල් අතට දුන්නා.

" මං ගිහින් එන්නම් බාබු අන්කල්... "

" හරි සර්.. බුදු සරණයි... ! පරිස්සමින්.."

බාබු අන්කල් එයාගේ ආශිර්වාදය එකතු කරද්දි කොල්ලා ගෙදරින් එළියට බැස්සා. එයා kawazaki bike එකට නැගලා ආපහු අර සුපුරුදු නුග ගහ යටට වෙලා එයා එනතුරු බලන් ඉන්න හිතාගෙන පියාඹලා ගියේ ජිම් එකේ ඉඳලා ආවා වගේම වේගයකින්.

ඔළුවෙ කැක්කුම නම් දැන් ටිකක් අඩුයි. ඒත් ඉතින් හිතේ කැක්කුම නම් තවමත් එහෙම්මමයි. ඒත් ඉතින් කරන්න කියලා දෙයක් නෑනේ. හිත එක වෙලාවකට හරි එළියයි. තවත් වෙලාවකට හරි කළුවරයි.

දෝලනය වෙන හිතට එක් පැත්තක් තෝරගන්න බෑ. ඊටත් එහා ඔව්වා ගැන කල්පනා කරන්න ගියොත් සත්සිඳුට පිස්සු හැදෙනවා අනුමානයක් නෑ. දැනටමත් එයාට පිස්සු හැදීගෙන එනවද කොහෙද.. තවදුරටත් එයාට හිතට සැනසීම ඕනි නම් කරන්න තිබුණේ එකම එක දෙයක් විතරමයි. ඒ වෙන දෙයක් වෙද්දෙන් කියලා හැමදේම දෛවයට භාර දීලා පැත්තකට වෙලා බලන් ඉන්න එක..

ඔව් , සමහර තැන් තියෙනවා උත්තර හොය හොයා කොච්චර මහන්සි වුනත් උත්තර ලැබෙන්නෙ නැති. ඒ තැන් මඟ හරින්නත් බැරි.. ඒත් උත්තර හොයලා හෙම්බත් වෙනවට වඩා වෙන දෙයක් වෙද්දෙන් කියලා ඒ ප්‍රශ්න දෛවයටම භාර දුන්නම කාලයක් ගිහින් හරි දෛවය විසින් ඒ ප්‍රශ්න හරි අපූරුවට විසඳලා දෙනවා. මේත් එහෙම ප්‍රශ්නයක්..

හවස හතර වෙද්දි එයා Daily Lanka ප්‍රධාන කාර්යාලයෙන් එළියට ආවේ නිරවුල් මනසකින්. ඒත් අත් හරින්න බැරි , අමතක කරන්න බැරි මතක ගොන්නක් ඒ හිතේ පිරිලා. රැජින පාර දිගේ ඉස්සරහට ආව එයා කුමාරතුංග මුනිදාස මාවතට වැටෙද්දිම දැක්කේ සුපුරුදු නුග ගස් හෙවණ යට kawazaki bike එකේ ඉන්න සුපුරුදු හිනාවේ අයිතිකාරයා.

ඒ හිනාව නම් ඉතින් හිත නිවන හිනාවක්. අයිතිකාරයා දඩබ්බර වුනාට ඒ හිනාව හරි සුන්දරයි. දහසකුත් සිතුවිලි අතරෙ මිනිහෙක්ව අතරමං කරන්න පුළුවන් විදිහේ මායාකාරී හිනාවක්.

ඒ මූණ දිහා බලාගෙනම කුමාරතුංග මුනිදාස මාවතට වැටුණු සත්සිඳු පාර මාරු වෙලා ඒ සුපුරුදු නුග ගහ යටට ආවේ එයත් එක්ක හිනා වී ගෙනමයි.

" වැඩ ඉවරද? "

එයා ඇහුවේ හිනා වෙලා. අම්මෝ එයාගෙ සුවඳ නම්.. ඒ සුවඳ සත්සිඳුට හොඳටම දැනුනා. හරියට ගාඩ්නියා, සේපාලිකා, කපුරු මල් ඔක්කොම එකතු වෙලා විහිදවන සුවඳක් වගේ.

" ඔව් සර්.. හතරටනේ off එක... "

" ඒක මං දන්නවා ඉතින්... "

ඇත්ත තමයි. එයා මොනවද නොදන්නේ? භෞතික අභෞතික හැම දේම එයා දන්නවා. එයා එක මොහොතකට ස්පර්ශ කරන්න බැරි අතථ්‍ය ආත්මයක් වගේ. ඒ හිත හැමදේටම වඩා මායාකාරීයි. එයාට ඒ මොහොතෙත් හිතුණේ මෙච්චර දඩබ්බර මිනිහෙක්ගේ හිතක් ඇතුළේ අර තරම් සංවේදී මනුස්සයෙක් ඉන්න පුළුවන්ද කියලා..

" යං එහෙනම්... "

මිගාන් කිව්වේ bike එකේ ඉන්න ගමන්මයි.

" මං...මේකේ.... "

සත්සිඳු ඇහුවේ පුදුමයෙන් වගේ. ඒ වගේ ලොකු බයික් එකක යන්න එයාටත් ලොකු ආසාවක් තිබුණට මොකද මිගාන් යන වේගයත් එක්ක එයාට යන්න බයයි.

" ඇයි බැරිද ? "

එයා ඇහුවේ කොල්ලගේ මුහුණේ පේන්න තියෙන හැම ඉරියව්වක්ම හරියට පිරික්සා බලලා.

එයා හිනා වුණා විතරයි. මොකුත්ම කිව්වෙ නෑ.

" ඇයි බයද ? "

ගැරඬියා ඇහුවේ හරියට කොල්ලගේ හිත කියෙව්වා වගේමයි. එයා යන වේගෙත් එක්ක ඉතින් බය හිතෙන එක සාධාරණයිනේ. ඒ වේගෙන්ම ගැරඬියත් එක්ක බයික් එකේ ගියොත් එහෙම ඉතින් එක්කෝ කොල්ලා තර්ස්ටන් එක පැත්තට විසිවෙනවා ; එහෙමත් නැත්නම් පන්නිපිටියටම විසි වෙනවා. කොල්ලා උන්නේ බයෙන් කියලා තේරුම් අරන් වගේ එයා කොල්ලට කිව්වෙ හිත හැදෙන වචන ටිකක්.

" බය වෙන්න එපා.. මං speed යන්නේ නෑ.. මේ ලෝකෙ මට මටත් වඩා දැනුනු වටිනාම දේ මගෙ පිටිපස්සෙන් තියාගෙන speed යන්න තරම් මං මෝඩ නෑ... බයවෙන්න එපා, නඟින්න... "

එයා එහෙම කියද්දි නම් සත්සිඳුගේ හිත ආයෙමත් පෑරෙන්න වුණා.

' එතකොට තමුසෙට තමුසෙව වටින්නෙ නැද්ද ඕයි... ? '

ඒ සත්සිඳු නෙවෙයි එයාගෙ හිත. බයවෙන්න එපා කිව්ව හින්දා සත්සිඳු බයික් එකට නැග්ගට මොකද දැන් දැන් එයාගෙ හිත හරි කලබලයි. ඒ කලබලය ඇති වෙන්න හරි හේතුව බයික් එකේ යන්න තියෙන බයද එහෙමත් නැත්නම් අර නපුරු ගැරඬියගේ කරේ එල්ලිලා යන්න තියෙන බයද කියලා එයාටම හිතාගන්න බැරි වුණා.

කොහොමින් කොහොම හරි එයා අරන් ඇවිත් තිබුණු අනිත් හෙල්මට් එක එයාම සත්සිඳුට දාන මොහොතේ සත්සිඳු බලන් උන්නේ ඒ කළු පාට හීනි ඇස් දෙක දිහා. කළු පාට කිව්වට ඒ මොහොතේ නම් ඒ ඇස් දෙක කෝපි පාටට හුරු වෙලා තිබුණේ .

' බීලද මන්දා.. එහෙම වෙන්න බෑනේ.. සුවඳත් එක්ක.... '

එයා ඒ ඇස් දිහා බලාගෙනම හිතන්න වුණා. ඒ සුවඳ දැනෙන කොට නම් ඉතින් හිතෙන්නෙම බදාගෙන ඉඹින්න. එයා මෙච්චර ආදරෙන් පරිස්සම් කරන හැටි දකිද්දි අර හිතේ තියෙන ලෝභකම එන්න එන්නම වැඩි වෙනවා. සමහර තැන්වල එයා පන්හිඳටත් වඩා එයාව පරිස්සම් කරනවා . ඒත් දෙයියනේ එයා මොනාද මේ හිතන්නේ..

හිත දෙතැනක නතර වෙලා. එයාටම අවංක නැති එයාගෙ හිත එයාට හරි ලැජ්ජයි. හෙල්මට් එක දැම්මට පස්සෙ එයා මිගාන්ගේ උරහිස් දෙකට අත් දෙක තියලා බයික් එකට ගොඩ වුනා.

ඔක්කොටම වඩා ඒ හෙල්මට් එකේ බර.. ඒක නම් කොල්ලට දරාගන්නම බෑ. ඒ මදිවට දැනෙන අමුතු හැඟීම. ඒක නම් ඊටත් එහා. පපුව ගැහෙන වේගය හරිම වේගවත්. අච්චර වේගයෙන් ගැහෙන පපුවට අත තියලා බැලුවා නම් ගැරඬියටම තේරෙයි එයා නිසා කොල්ලගේ හිතේ කොච්චර කලබලයක් ඇති වෙලාද කියලා. කුමාරතුංග මුනිදාස මාවතෙන් හරවපු bike එක තුම්මුල්ල හරහා ඇවිත් පන්නිපිටිය බලා ඇදෙන ගමන්.

කිව්වත් වගේ එයා ගියේ වෙනදා යන මකරා ගිනි පිඹින වේගයෙන් නම් නෙවෙයි. මහ ගොඩක් හෙමින් නොවුණත් හරිම සාමාන්‍ය වේගයකින්. එයා ආදරේ කරන එයාගෙ පණ ටිකත් දාගෙන එච්චර වේගෙකින් යන්න එයාට හිතක් දුන්නෙත් නෑ. එයාට එයා ගැන විශ්වාසයි තමා. ඒත් කොල්ලගේ හිතට නිස්කාරණේ බයක් අරන් එන්න ඕනි නැති නිසා එයා සාමාන්‍ය වේගයකින් bike එක ride කළා.

ගැරඬියගේ උරහිස් දෙක තද කරලා අල්ලගෙන ඔහේ වට පිට බල බල එන කොල්ලා දිහා මිගාන් side mirror එකෙන් දෙතුන් පාරක්ම බැලුවා. එයාගෙ මූණේ තිබුණේ හරි ලස්සන හිනහවක්. ඒ හිනාව තනිකරම හිත් වශී කරවන හිනාවක්. ඒ හිනාව දකිද්දි ඉතින් සිල් බිඳෙන එක අහන්නත් දෙයක් ද. ලා රෝස පාටට හුරු තොල් පෙති දෙක දවසක් දා එයා සිප ගත්තා වගේම ආයෙමත් වතාවක් සිප ගන්න එයාගෙ හිත ලෝභ වුණා.

ඒත් ඒ දවසෙ වගේ අනවසර සිපගැනීමකට යනවට වඩා එයාගෙ හිත කිව්වේ අහිංසකයගේ අවසරය ඇතුවම දවසක ඒ දෙතොල් පෙති සදහටම සින්නක්කර එයාටම ලියාගන්න කියලා. කිරුළපන කිට්ටුව වගේ එද්දි මිගාන් side mirror එකෙන් කොල්ලා දිහා බැලුවා. එයාගෙ උරහිස් දෙක තද කරලා අල්ලගෙන එයා උන්නේ වෙනම සිහි කල්පනාවක. දෙපැත්තේ තියෙන cafe, building දිහා හරි ආසාවෙන් බලාගෙන එයා හිනා වී ගෙනම ඉන්නවා. අඩ අඳුරක් එක්ක වුණත් පාර දෙපැත්තේ ගොඩක් තැන්වල කහ පාටට හුරු විදුලි බුබුළුවලින් අලංකාර වෙලා.

" සත්සිඳු... "

එයා කතා කළේ බයික් එක ride කරන ගමන්මයි.

" සර්... "

සත්සිඳු එයාගෙ හිස තව ටිකක් ඉස්සරහට කරන ගමන් කතා කළා.

" අපි ice cream කමුද ? "

" දැන්... "

" ඔව්... "

එයා මොකුත්ම කිව්වෙ නෑ. හිනා වෙලා හිස වැනුවා විතරයි. කහ පාට විදුළු බුබුළුවලින් වර්ණවත් කරලා තිබුණු රාත්‍රී අවන්හලක් ළඟ නතර වුණු එයාගෙ bike එක නවත්තපු හැටියෙම සත්සිඳු වට පිට බලන්න වුණා.

වෙනදාටත් එයා මේ පාර දිගේම බස් එකේ යනවා. ඒත් මේ තරම් සමීපව මේ කොළඹ අහස යට සමහර තැන්වල සුන්දරත්වය විඳින්න තරම් අවස්ථාවක් උදා වෙලාම නෑ. මේ දේවල් හරි පුදුමාකාර අමරණීය මතක ගොන්නට එකතු වෙනවා සත්තයි.

කෙනෙක් එක්ක bike එකක නැඟලා කොළඹ අහස යට ගමන් කරන පළවෙනි වතාව.. ඒක හරි ලස්සන මතකයක් වෙන්නේ හිත දෙතැනක නතර වෙලා තියෙන මොහොතක එයින් එක් පාර්ශ්වයක් එක්ක මේ ගමන එන්න ලැබුණු එක නිසා.

" බහින්න... "

Bike එක නතර කරලා එයා කිව්වම කොල්ලා එයාගෙ උරහිස් දෙක අල්ලගෙනම bike එකෙන් බැස්සා. එයත් bike එකෙන් බැහැලා කොල්ලත් එක්ක හිනාවෙලා අවන්හල ඇතුළට ගියා.

එළියට වෙලා අත් දෙකත් බැඳගෙන සත්සිඳු බලන් උන්නේ හැන්දෑවේ සුන්දරත්වය දිහා. හැමතැනකම වගේ දැල්වෙන විදුලි එළි.. building , cafe වගේ තැන් හරි ලස්සනයි.

වෙනදාත් මේ තැන් කොච්චර නම් පහු කරන් යන්න ඇත්ද ? ඒත් මෙහෙම සුන්දරත්වයක් දකින්නේ ජීවිතයේ පළවෙනි වතාවට. වෙලාව කීයද කියලවත් එයාට හරි හැටි කල්පනාවක් නෑ.

මඟ හැර නොගත යුතු සමහරක් තැන් ජීවිතය කොච්චර නම් ලස්සන කරනවද. එයාට දැනුනේ ඇබ්බැහියක් වෙන්න තරම් බලගතු නිදහසක්. කවදාවත්ම කොළඹ අහස යටදී නොදැනුනු තරම් නිදහසක්. භෞතිකත්වයෙන් ඈත් වෙලා අභෞතිකව ජීවත් වෙන ආත්මයක් ගානට එයාගෙ හිත හරි නිදහසකින් , සැහැල්ලුවකින් පිරෙන්න වුණා.

මිනිත්තු පහක් යන්නත් ඉස්සර ගැරඬියා ice cream දෙකකුත් අරන් ඇවිත් එයින් එකක් සත්සිඳු අතට දුන්නම එයා හිනා වෙලා ඒක අතට ගත්තා . Ice cream එක රස බලන ගමන් එයා නිහඬවම වට පිට බලන්න වුණා. හැන්දෑකරයේ මෙච්චර ලස්සනද කියලා හිතුණු මුල්ම වතාව නිසා ඒ හස දිහා එයාට නොබලා ඉන්නම බැරි වුණා.

නිහඬවම ice cream එක කන එයාගෙන් මිගාන් වචනයක් බලාපොරොත්තු වුණත් එයා කතා කළේ නෑ. ඒත් ඒ සුන්දර මොහොත විඳගන්නයි මිගාන්ට ඕනි වුණේ. එයාගෙ කල්පනාව බිඳින ගමන් මිගාන් එයාගේ හඬ අවදි කළා.

" මොකෝ silent ? "

මිගාන් ඇහුවේ ice cream එක රස බලන අතරෙමයි.

" මොකුත් නෑ සර්.... "

එයා යාන්තමට හිනා වෙලා උත්තර දුන්නා. හැබැයි එයාට ඕනි වෙලා තිබුණෙත් මිගාන් එක්ක ඒ මොහොත විඳින්නමයි.

" එහෙනම් ඇයි මොකුත් නොකියන්නේ? "

මොනා කියලා කියන්නද . හිතේ තියෙන දේවල් වචනවලට පෙරළන්න ගියොත් මේ හැන්දෑවෙන් පටන් ගෙන ජීවිතේ හැන්දෑව වෙනකනුත් කියවන්න වෙයි.

" එහෙම මොකුත් නෑ සර්... "

එයා මිගාන්ගේ මූණ දිහා හිනා වෙලා බලාගෙනම කිව්වා.

" ඔයා දන්නවද දෙයක්... ? "

" මොකක්ද සර්? "

" කෙනෙක්ගේ නිගඬතාවය හරියට මහ මුහුද වගේ.. ගැඹුරට යන්න යන්න භයංකාරයි... "

නපුරු ගැරඬි හිත මෙච්චර පරිණතද. හිතාගන්නවත් බැරි තරම් දේවල් හිතෙද්දි එයාගෙ හිත අහන්න වුණේ කොහොමද ඔච්චර ලස්සනට වචන ගළපන්නෙ කියලා. හැබැයි එයා කිව්වෙ ඇත්ත ඉතින්. කෙනෙක්ගෙ නිහඬතාවය හරියට මහ මුහුදක් වගේ තමයි. ගැඹුරට යන්න යන්න භයංකාරයි.

එයා හිනා වෙලා බලන් උන්නා මිස මොකුත්ම කිව්වෙ නෑ. ඒ මොහොත තුළ ජීවත් වෙන්න නම් වචනයක් කතා කරන්නම ඕනිද. නිහඬ වෙලා ඒ මොහොත විඳගන්න බැරිද. නිහඬතාවය මොන තරම් නම් දේවල් කියනවද.

වචනවලින් කියන්න බැරි දේවල් අනන්තයක් එක නිහඬ බැල්මකින් කියන්න මිනිස්සුන්ට පුළුවන් .

" අපි යමු... "

එයා bike එකට නඟින ගමන්ම කතා කළා. එයා යන්න කතා කරද්දි බලන් ඉන්න කියලයැ. ඉතින් සත්සිඳු ත් ආයෙමත් එයාගෙ උරහිස් දෙකට අත් දෙක තියලා එයාගෙ bike එකට ගොඩ වුණා.

" හැමදාම ඔන්න ඔහොම හිනා වෙලා ඉන්නකෝ.. ඔය ඇස් දෙකට කඳුළු ගැළපෙන්නෙ නෑ ළමයෝ... "

එයා bike එකේ side mirror එකෙන් බලාගෙනම කිව්වා. ඒත් එයාගේ මූණ හරියට නොපෙණුනේ ඒ වෙද්දි තිබුණු ඝන අඳුර නිසාමයි.

මීළඟ කොටසට ...

More Chapters