" ක්..කියපන් කවුද උඹ... උ..උ..උඹ මොකක්ද මගෙ room එකේ කරන්නේ... ? "
ක්ලෙයාරා බයෙන් බයෙන් වගේ ඒ වචන ටික මුමුණන්න වුණා. ඒ ඇඳ උඩ උන්නේ කළු පාටින්ම ඇඳ ගත්තු මනුස්සයෙක්. ඔළුවේ ඉඳන් දෙපතුල දක්වාම කලු පාටින් ආවරණය කරගත්තු ඒ මනුස්සයා අත් දෙකටත් කළු පාට ග්ලව්ස් දාලායි උන්නේ. ඇඳ විට්ටමට හේත්තු වෙලා උන්නු ඒ මනුස්සයා ක්ලෙයාරා දිහා බලාගෙනම වියරු බැල්මක් එක්ක ඇඳෙන් නැඟිටලා එන්න පටන් ගත්තා. ක්ලෙයාරාගේ හදවත හරි වේගෙන් ගැහෙනවා. ඉණේ කොණක සඟවාගෙන උන්නු උල් පිහි තලයත් අරගෙන ඒ පිරිමි කෙනා එහෙම්මම ක්ලෙයාරා ළඟට එද්දි ක්ලෙයාරා පිටිපස්සෙන් පිටිපස්සට යන්න වුණා. ඒත් එතනින් එහාට එයාට යන්න ඉඩ හසරක් නෑ. එයා එහෙම්මම හේත්තු වුණේ බිත්තියට. අවසාන මොහොතට පෙර එයා ඇස් වහගත්තේ ඒ මනුස්සයා අතින් මැරුම් කන්න වෙන බව දන්න හින්දාමයි. කහ පාටට හුරු බල්බ් එළියත් එක්ක දිලිසෙන තියුණු පිහිතලය.. ඒ පිහි තලයත් දිගු කරන් ක්ලෙයාරා ගාවට එන කළු ඇඳගත් නන්නාඳුනන පිරිමියා..
ඇස් වහන් උන්නු ක්ලෙයාරාට ළඟ ළඟම ඒ මනුස්සයගේ බූට් සපත්තු දෙකේ හඬ ඇහෙනවා. එයාගේ පපුව ගැහෙන වේගයට කියන්න තිබුණේ මර බිය කියන වචනෙ විතරමයි . ඔව් , එයා උන්නේ මර බියෙන්.
ඒ බූට් සපත්තු දෙකෙහි හඬ තත්පරයක් දෙකක් ඇතුළත ළඟ ළඟ ඇහෙද්දි ක්ලෙයාරාට කරකියාගන්න දෙයක් තිබුණේ නෑ. එයා බිත්තියට හේත්තු වී ගෙනම ඇස් වහන් උන්නු ඒ මොහොතේ මුවෙහි කෙළ පවා සිඳී ගිහින් තිබුණා.
එයාගෙ ළඟින්ම ඇහෙන බූට් සපත්තු හඬ.. තවත් තත්පරයක් යන්නත් ඉස්සර බිත්තියට හේත්තු වෙලා මර බියෙන් ගැහෙමින් උන්නු ක්ලෙයාරාගේ ගෙලට තදවුණේ අර උල් පිහි තලය.
ඒත් ඒ පිහි තලය එයාගෙ ගෙලට තද වුණා මිස කිඳා බහින්න වුණේ නම් නෑ. නිහඬවම බලා උන්නු ක්ලෙයාරාට එහෙම්මම කෑ ගැස්සෙන්න වුණා. ඒත් එක්කම අර මනුස්සයගේ ග්ලව්ස් දාපු එක අතකින් ක්ලෙයාරාගේ මුව තද වෙලා පිහි තලය ආයෙමත් ගෙලට ළං වෙද්දි ක්‍රියාත්මක වුණේ ක්ලෙයාරාගේ දෑත් දෙක.
එහෙම්මම ඒ මනුස්සයාව පුළුවන් තරම් වෙර යොදලා දෑත් දෙකෙන්ම තල්ලු කරපු ක්ලෙයාරා කාමරෙන් එළියට පැන ගත්තේ අඩියට දෙකට. කළු ඇඳගත්තු නන්නාඳුනන පුද්ගලයා එහෙම්මම ඇදගෙන වැටෙද්දි ක්ලෙයාරා ආවටත් වඩා දහ පහළොස් ගුණයක වේගයකින් පඩිපෙළ් බහින්න වුණා. කාමරේ ඉද්දි ගෙලට තද වුණු පිහි තලයෙන් එයාගෙ ගෙල සීරිලා යාන්තමට ලේ ගලමින් තිබුණා. සියුමැලි වතට ඒ වේදනාව ටිකක් අමාරු වුණත් එයා පඩිපෙළ බැහැගෙන ඇවිත් සෝෆා එක උඩ තිබුණු car එකේ key එකත් අරන් එළියට පැනගත්තා.
එයා ඇතුළට එද්දි gate එක වහගෙන ආවෙ නැති නිසා car එකට නැඟලා එයා car එකත් start කරන් යන්න පිටත් වෙද්දිම වගේ අර මනුස්සයා දොරකඩින් මතු වෙන හැටි එයා දැක්කා. තවත් එකම එක මොහොතක්වත් ඒ විසල් නිවසේ තනිව නොරැඳීමට ඒ කලබලකාරී තත්පරයේම තීරණය කරපු ක්ලෙයාරා car එකත් අරන් gate එකෙන් එළියට දාලා drive කරන්න වුණේ කලබලෙන් , බියෙන්.
තියුණු පිහි තලයට සීරිලා ගෙලෙන් යාන්තමට ලේ ගලනවා. Phone එකත් තිබුණේ එයාගෙ hand bag එකේ නිසා කාටවත් කතා කරන්නවත් විදිහක් නැතුව එයා උන්නේ අසරණ වෙලා. යන්න ඕනි කොහෙටද කියලවත් නිනව්වක් නැතුව ඔහේ මහ පාර දිගේ වාහනේ drive කරන් යනවා ඇරෙන්න එයාට වෙන කරන්න දෙයක් ඉතුරු වෙලා තිබුණේ නෑ.
සිරුර පුරාවටම වැගිරෙන දාඩියෙන් එයාගෙ ඇඳුමත් තෙත් වෙලා. තවමත් පපුව ගැහෙන්නේ ඉස්සර ගැහුණු වේගයෙන්මයි. කතා කරන්නවත් , එයාව බේර ගන්නවත් කෙනෙක් නැති තැන එයාට මතක් වුණේ ඩිනෝ මිගාන් සමරදිවාකර විතරමයි. ඒත් මේ වගේ මොහොතක එයා ගාවට යන එක හරිද..
ඒත් එයාට වෙන කරන්න කියලා දෙයක් තිබුණේ නෑ. ඒත් ඒ මොහොතේ ඩිනෝට කරදරයක් වෙන්න තරම් එයාගෙ හිත ඉඩ දුන්නෙත් නෑ. දැන් තියෙන එකම පිහිට පොලීසිය විතරමයි. එයාගේ car එකත් drive කරන් ක්ලෙයාරා ගියේ පොලීසියට .
අමාවකක් නොවුණත් වලා'තර සැඟවෙලා ගියපු සුදු සඳ රැස් කවුළුවකින් එළිය බලන්න වගේ. කෝපි කෝප්පයක් හැරෙන්න මේ මනරම් රැයට හිත සුවපත් කරන්න පුළුවන් වෙන කාටද. සේපාලිකා ගහේ මල් පිපිලා හරි හරියට සුළඟත් එක්ක මුහු වෙලා සුවඳ දැනෙනවා. මුළු බෝඩිමම නින්දට ගිහින් වුණත් ඇස් පියවෙන්නෙ නැති එයා හදාගත්තු කෝපි කෝප්පෙත් අරන් එළියට බැස්සා. ඒත් එක්කම වගේ සුදු සඳ රැස් බොරළු පොළවට වැටිලා බෝඩිමේ කහ පාට බල්බ් එළියත් එක්ක එකට මුහු වෙලා මැව්වේ වෙනස්ම චිත්‍රයක් .
දැවටෙන සුළං රැල්ලක් ගානෙම ඇඟට දැනෙන්නේ පුදුමාකාර සනීපයක්. ඒක එක අතකට ආශ්චර්යජනක සිදුවීමක් වගේ. ඇඟ කිළිපොලා යන සීතලක් , තවත් විටෙක ඇඟ සුවපත් කරවන සීතලක්.. ඇත්තෙන්ම ඒ රෑ කෙනෙකුට ලෝභ හිතෙන රැයක්. කෝපි කෝප්පයේ උණුහුමත් එක්ක ටිකෙන් ටික මඟ හැරෙන සීතලට එයා අත වනද්දී ඒ සීතල පෑල දොරින් පලා ගිය ගානයි.
දවස මෙච්චර සුන්දර වෙනකොට හිත ඉබේටම වගේ සැනසෙනවා. හිතත් එක්ක සෙල්ලම් කරන්නවත්, බොරු කරන්නවත් බෑ. මොනා වුණත් ඒ හිත අකීකරු විදිහට දෙතැනක නතර වෙලා ලතැවෙන එක හැරෙන්න වෙනත් වරදක් නම් සත්සිඳුට පේන්නෙත් නෑ.
වෙලාවක් ගැන නොදැන හිතේ තියෙන අවිනිශ්චිත හැඟීමට එයා ඔහේ නිදහස් වෙන්න ඉඩ දීලා බලන් උන්නා. මුළු බෝඩිම පුරාවටම දැල්වෙන එකම එළිය එයාගේ කාමරයේ එළිය විතරමයි .
එයා තවමත් හඳ එළිය දිහාවට ඇස් යොමා ගත්තු ගමන් . අල්ලපු කාමරේ දැල්වෙන කහ පාට විදුලි බුබුළේ එළිය දැක්ක දෙනුවරගේ ඇස් ඉබේම විවර වෙද්දි එයා ඇඳෙන් බිමට බැස්සේ ඒ තත්පර දෙකට.මොනා වුණත් එයා ගැන හිතේ තියෙන හැඟීම නොකිව්වත් ඒ හිත ගැන වදවෙන්න තරම් අයිතියක් දෙනුවර විසින්ම ගොඩ නගා ගෙන තිබුණා.
එයා ඇඳෙන් බිමට බැස්ස හැටියෙම වගේ lights on කරගෙන දොර විවර කරද්දි දැක්කේ හඳ එළිය දිහා බලාගෙන ඔහේ නිදැල්ලේ ඉන්න සත්සිඳුව. එයා උන්නේ ලොකුම ලොකු කල්පනාවක බව දැක්ක හැටියෙම වගේ දෙනුවරට තේරුණා. ඉතින් එයාට කතා කරලා ඒ හිතේ තිබ්බ මිහිරි කල්පනා ලෝකය බිඳින්න තරම් එයාට හිත ඉඩ දුන්නෙ නෑ. ඒ නිසාම එයා මිදුලට බැස්සෙත් හෙමින් අඩිය තියන ගමන්. ඇහෙන නෑහෙන ගානට අඩි තිය තියා සත්සිඳු ගාවට එන එයාගේ දෙපා හරි හරියට ගැහෙනවා. ඒ ඇයිද කියලා නම් එයාටත් හිතාගන්න බැරි වුණා.
තවමත් පියවි සිහියෙන් තොර අවසිහියෙන් යුතු ලෝකයක නතර වෙලා ඈත අහසේ හඳ එළිය දිහාවට ඇස් යොමන් ඉන්න කොල්ලගේ ළඟින්ම ඇහුණු දිග හුස්මත් එක්ක කල්පනාව බිඳුණු හැටියෙම එයා බැලුවේ එයාගේ දකුණු පස. එයත් එක්ක ලාවට හිනා වෙන ගමන් ඒ ඇස් දෙකත් යොමු වුණේ ඒ හඳ එළිය දිහාවටමයි.
" හඳ එළිය හරි ලස්සනයි නේද ? "
දෙනුවරගේ ඇස් ඒ හඳ එළිය දිහාවටම යොමු කරන් ඇහුවේ සත්සිඳුත් එක්ක ලොකු කතාවකට මුල පිරීමේ අභිලාෂයෙන්.
" හ්ම්.... "
එයා දුන්නේ කෙටි උත්තරයක් වුණත් දෙනුවර බලාපොරොත්තු වුණු ලොකු කතාවට නම් ඒකත් හොඳ අඩිතාලමක් .
" ඇයි මේ රෑ වෙලා... "
" නිකන්.. මට අහස දිහා බලන් ඉන්න හිතුණා..."
එයා ආයෙමත් ඇස් පටළවගත්තේ හඳ එළියත් එක්ක.
" රෑට තමයි අහස ලස්සනම... "
දෙනුවර කියද්දි සත්සිඳු ආයෙමත් දෙනුවර දිහා බැලුවේ පුදුම සහගත බැල්මකින්.
" ඇයි දවල්ට අහස ලස්සන නැද්ද? "
" දවල්ට ලස්සනයි, රෑට ලාස්සනයි... "
දෙනුවර ඒක ඇදලා වගේ කියද්දි නම් සත්සිඳුට හිනා ගියා. එයා සතුටින් හිනා වෙන හැටි බලන් ඉද්දි දෙනුවරගේ හිත පිරිලා ඉතිරිලා යනවා. ඒක හරි පුදුමාකාර හැඟීමක්.
අප්රකාශිත හැඟීමක් එක්ක වුණත් දෙනුවර එයාගේ සතුට දිහා බලන් සතුටු වෙන හැටි නම් හරි පුදුමයි. වචනයේ පරිසමාප්තයෙන්ම කිවහොත් එයාට තියෙන්නෙත් මායාකාරී හිතක්.
ලේසි නෑ. මායාකාරී හිත් තුනක බලාපොරොත්තුවේ කුමරුවෙක් වෙන එක.. ඒ හිත් තුනම ඉල්ලන්නේ එයාව. ඒ අහිංසක කටකාර කොල්ලව.
" අර බලන්නකෝ අර.. හඳ එළිය යාන්තමට අර වලාකුළු අස්සෙන් එබිකම් කරන හැටි.. ඉතින් කොච්චර ලස්සනක්ද එතන තියෙන්නේ... රෑට මෙහෙම අහස දිහා බලන් කල්පනා කරන්න පුළුවන් උනාට අපිට දවල්ට ඒක කරන්න අමාරුයිනේ සත්සිඳු.. දවල්ට ඉර එළිය දිහා කොහොමද බලන් ඉන්නේ.. ඒත් හිතන්න රෑට.. රෑට අපිට එළිවෙනකන් වුණත් අහස දිහා බලන් ඉන්න පුළුවන් නේද ? ඇඟ පිච්චෙන්නෙත් නෑ.. හිත පිච්චෙන්නෙත් නෑ... "
දෙනුවර කිව්ව අන්තිම වචන ටික. ඒ වචන ටික හරි අමුතුයි. එයා කෝපි කෝප්පයත් අතේ තියාගෙනම දෙනුවර දිහා බැලුවා. ඒත් දෙනුවරගේ ඇස් තිබුණෙත් තවමත් හඳ දිහා බලාගෙනමයි .
" හිත පිච්චෙන්නෑ...! ඒ කිව්වේ.. ? "
එයාට දැනගන්න ඕනි වුණේ ඒ වචනවල හරි තේරුම. එයා නොකියා කියපු දේ. හරියට පල නොකියා පලා බෙදනවා වගේ එයා කිව්ව වචන ටිකේ තේරුම..
දෙනුවර එයාගෙ ඇස් ආයෙමත් සත්සිඳු දිහාවට යොමු කරගත්තා. දෙන්නගෙම ඇස් පැටළුනේ එකම නිමේෂයක දී. හඳ එළිය තව තවත් වලාකුළකට මුවා වෙලා සැඟවිලා ගිය ගානයි. සත්සිඳුගේ ඇස් දිහා බලාගෙනම දෙනුවර ගත්තේ ලොකු හුස්මක්. මොනා හෝ නොකියන හැඟීම් අනන්තයක් එයාගේ ඇස් දෙකේ ලියවෙලා තියෙන අන්දම සත්සිඳු හොඳාකාරවම දැක්කා. එයා බලන් උන්නේ දෙනුවර මුමුණන්න යන වචන ටික කොහොම ඒවද කියලා හිතාගන්න බැරුව පුරුදු අවිනිශ්චිත හැඟීමෙන්මයි.
" දන්නවද, පුරුදු ඇබ්බැහි වෙනකොට අතහැරීමක් කියන්නෙම දුකකට.. පුරුදු වෙන්න හොඳ නැත්තෙම මිනිස්සුන්ට... "
එයා කිව්වෙ එච්චරමයි. ඒ ටික කිව්ව දෙනුවර ආයෙමත් වතාවක් අර ඈත සුදු හඳ එළිය දිහාවට ඇස් යොමු කරලා සත්සිඳු ගාවින් ආයෙමත් කාමරයට ගියේ සත්සිඳු බලන් ඉද්දිමයි.
මොනාද එයා ඒ කිව්වේ.. ඒ වචනවලට තේරුමක් තියෙනවද. තේරුමක් නැති වචන කොහෙන්ද එක අතකට. නොතේරෙන වචන ටිකක් ඔහේ කියලා දාලා ගියපු දෙනුවරට හිත අස්සෙන් දෙස් දෙවොල් තියන ගමන් සත්සිඳු ආයෙමත් අර හඳ දිහාවට ඇස් යොමු කරගත්තා. පුරුදු ඇබ්බැහියක් වෙනකොට අතහැරීමක් කියන්නෙම දුකකටලු. පුරුදු වෙන්න හොඳ නැත්තෙම මිනිස්සුන්ටලු. ඒ කියන්නේ මොකක්ද? හිත දැන් දැන් නාඩගම් මඩුවක නාඩගම් නටන ගානයි. ඒකත් අණ්ඩර දෙමළ භාෂාවෙන් ලියපු පිටපතකට..
' එතකොට දෙනුවර.. ඔයා..ඔයා.. ඒ කියන්නෙ ඔයත් මට.. නෑ නෑ නෑ... එහෙම වෙන්න බෑ.. කොහෙත්ම වෙන්න බෑ... ඒත් ඒ මොකක්ද කිව්වේ ? පුරුදු වෙන්න හොඳ නැත්තෙම මිනිස්සුන්ට කියලා... අනේ...! දැන් නම් මගෙ ඔළුවත් පුපුරන්න වගේ... '
ඒ එයාගේ හිත. දෙතැනක හිරවෙලා අසීමාන්තික හැඟීම් ආවලියක පබළු වගේ ඇමිණිලා ඉන්න එයාට දෙනුවරගේ වචන මහ බරක්. ඒත් හිතත් නිදහස් නොවෙන තැනම එයා ආයෙමත් අර පුරුදු සඳ එළිය දිහාවට ඇස් යොමා ගත්තේ වෙන හැමදේම දෛවයටම භාර දෙමින්.
පොලීසිය පාර දිගේ වැටුණු ක්ලෙයාරාගේ car එක ගිහින් පොලීසිය ඉස්සරහින් නතර වුණා. එයා උන්නේ හොඳටම බයවෙලා. කරකියාගන්න දෙයක් නැතුව අසරණ වෙලා උන්නු ක්ලෙයාරා හැම විස්තරයක්ම පොලීසිය ඉස්සරහා පාපොච්චාරණය කලාට පස්සේ ක්ලෙයාරාගේ ආරක්ෂාව වෙනුවෙන් පොලිස් නිලධාරිනියන් දෙදෙනෙක් යොදවනු ලැබුවා. පොලීසියෙන් ගිහින් ගෙදර පරීක්ෂා කළත් කිසිම හෝඩුවාවක් හොයාගන්න නම් වුණේ නෑ. ක්ලෙයාරාගේ hand bag එකයි, phone එකයි නැවතත් ගෙනල්ලා භාර දුන්නු පොලීසියෙන් ක්ලෙයාරා එක්ක ගොඩක් වෙලා කතා කළා.
" මිසිස් ක්ලෙයාරා... ඔයාට සැක කරන්න කවුරු හරි ඉන්නවද? "
" අනේ එහෙම කෙනෙක් නෑ සර්.. මං.. මං දන්න තරමින් මට එහෙම කිසිම වෛරක්කාරයෙක් නෑ... "
එයා කිව්වේ බයෙන් බයෙන් වගේ. ඒ හඬ හොඳටෝම බිඳිලා ගිහින්. ගෙලේ තිබුණු සියුම් සීරීම් තුවාලය අර තියුණු පිහිතලය නිසා. එයින් ගලන ලේ ටික අයින් කරලා පිරිසිදු කරපු පොලිස් නිලධාරිනියක් first aid box එකකුත් අරන් ඇවිත් ක්ලෙයාරාගේ තුවාලයට බෙහෙත් දැම්මා. ඒත් ක්ලෙයාරා උන්නේ හොඳටම බය වෙලා.
" මිස් ක්ලෙයාරා, ඔයා බයවෙන්න එපා දැන්.. හරිද.. අපි ඉන්නවනේ.. මිස් ක්ලෙයාරාට කිසිම කරදරයක් වෙන්නෙ නෑ... OK.... "
පොලිස් කාන්තාවෝ දෙන්නා බයවෙලා ගැහෙමින් උන්නූ ක්ලෙයාරාගේ හිත යාන්තමට හැදුවා. ඒත් හිත ඇතුළේ තිබුණේ ලොකු බියක් මුහු වෙච්චි චකිතයක්. වෙහෙසත්, මහන්සියත් එක්ක ක්ලෙයාරා තොම්සන් එහෙම්මම පොලිසියේ දිගු බංකුවක් උඩ දිග ඇදිලා එහෙම්මම ඇස් පියා ගත්තා. ඔරලෝසුවක තත්පර කටුව තත්පරයෙන් තත්පරය හඬන හැටි එයාට ඇස් පියන් ඉද්දිත් හොඳටම ඇහෙන්න වුණා.
වේලාව නම් පෙරවරු 1.15 ටත් වෙලා තිබුණා. ලොකු ඇඳ උඩ ඒ මේ අතට පෙරළි පෙරළි ඉන්නවා හැරෙන්න නින්දක් කියලා දෙයක් නම් එයාගේ ඇස් මානෙකටවත් එන්නෙ නැති තැන මිගාන් කළේ කහ පාට table lamp එකත් දල්වගෙන සිවිලිම දිහාවට ඇස් යොමු කරන් ඔහේ බලන් උන්නු එක. අලුත් දවසකුත් උදා වෙලා තිබුණත් නින්ද කියලා කෙනෙක් නම් එයාව අඳුනන්නෙවත් නැති ගානයි. වෙනදා එයාගෙ නින්ද හොරකම් කරන්නේ දුක වුනාට මොකද මෙදා සැරේ නම් නින්ද හොරකම් කරලා තිබුණේ සතුට..
ඒ දවස ගෙවුණු අපූරුව. හරි උද්යෝගිමත් භාවයක් මුළු හිතත් සිරුරත් පුරාවටම පැතිරිලා. වචනවලට පෙරළන්න බැරි හැඟීම් ගොන්නක් එක්ක සුපුරුදු නුපුරුදු බලාපොරොත්තු ගොන්නකුත් එයාගෙ හිත අස්සේ දළුලන්න වුණා.කුළුඳුල් තොල් හාදුවට වඩා එයාගේ කම්මුල මත අහිංසකයා මවපු පුංචි හාදුව කොච්චර නම් සුන්දරද. එයා කල්පනා කළේ ඒ ගැන. අනවසර සිප ගැනීමකටත් වඩා ඒ හාදුව හරි ගැඹුරු විදිහට එයාගේ පපුවට දැනෙන්න වෙද්දි ගැරඬියගේ මූණේ මැවුණේ පුංචි හිතුවක්කාර හිනාවක්.
" My babybabe, you are my little prince... "
මිගාන් සිවිලිම දිහා බලාගෙනම මිමිණුවේ ඒ හිත අස්සේ අර අහිංසකයගේ රුව මැවුණු තත්පරයට. සත්සිඳුගේ හිත දෙතැනක නතර වෙලා උන්නට මොකද මිගාන්ගේ හිත නම් සත්සිඳු ගාව විතරමයි. එයාගෙන් තොර ලෝකයක් ගැන දැන් දැන් ගැරඬියට හිතාගන්නවත් බෑ. එහෙම්මම පියාගත්තු ඇස් දෙක අස්සට ආවෙත් සත්සිඳුගේ රූපයමයි.
ඒ අහිංසක ඇස් දෙක.. ඒ හිනාව.. ඒවා මිගාන්ට වශියක් වගේ. අහිංසක කොල්ලෙක් විදිහට එයාගේ හිත අස්සේ පෙරළි කරන සත්සිඳු ගැන එයාගේ හිතේ උපන් ආදරේ ගැන එයාටම හිතාගන්න බෑ. අහම්බෙන් හමු වුණු එයාගේ ඇස් දෙක කවදාවත්ම තමන්ගේ මෙච්චර හොරකම් කරන තැනට ඒවි කියලා නම් ගැරඬියා හීනෙකින්වත් හිතුවෙ නෑ. ඒත් හැමදේම වෙනස් වෙලා තිබුණා. තත්පරත් , මිනිත්තුත් අතර වුණු කාල සංග්රාමයකින් ඒ හැමදේම හරි හරියට වෙනස් කරලා තිබුණා. ඒත් එකම එක දෙයක් හැරෙන්න..
අහිංසකයි කියලා ගැරඬියා විසින් හිතන් ඉන්න අහිංසකයගේ කට හැරෙන්න ඒ කාල සංග්‍රාමය හැමදේම වෙනස් කරලා තිබුණා. වෙච්චි දේවල් එක්ක ඒ කටට එන නානාප්‍රකාර වදන් ටික පුංචි කාලෙකට අමතක වෙලා තිබ්බට දැන් දැන් නම් ආයෙමත් ඒ කටට පණ එන්න අරන්..
" මුගෙ අප්පට ටෞකන මී හැතිකරේ.. මං තොපි එකා එකා අල්ලන් ගිහින් දානවා දැන ගනිව් මරදානට.. කාලකණ්ණි අවලම්මු.. බලපන් තොපිත් එක්ක පොල් බෑයක් තියාගන්න පුළුවන්ද කියලා.. වේසං පුතෑ එව්වෝ... ආයෙ එහෙම මගෙ පොල් බෑයට කෙළවලා තිබ්බොත් දැන ගනිව් කනවා තොපේ කැවුතු...."
පාන්දර 4 ට නැඟිටපු කොල්ලා උයන ගමන් උන්නේ. පරිප්පු කරි එක හදද්දි කිරි දාන්න ඕනි වෙලා පොල් බෑය ගනිද්දියි එයා දැක්කේ පොල් බෑය මීයෝ කාලා තියෙනවා . යක්ෂාරූඪ වුනු කොල්ලගේ කටට ආව සභ්‍යත්වයෙන් තොර වෙච්චි වචන ටික එයා මහ හයියෙන් කියලා දැම්මා.
ළඟ පාතක ඉන්නේ කවුද කින්ද මන්ද කියලවත් ගාණක් නැතුව ඔහේ කියවගෙන ගිය කොල්ලගේ කටහඬ කොච්චර මිහිරිද කියනවා නම් එහා කාමරේ එතුවක් වෙලා නිදන් උන්නූ දෙනුවරත් ඇස් විවර කරලා බැලුවේ 4.30 ට තියලා තිබ්බ alarm එක පාන්දර 4 ට වදින්නේ ඇයි කියලා බලන්න වගේ.
කොල්ලගේ මිහිරි සුමිහිරි කටහඬ ඇහිලා නින්ද බිඳුණු දෙනුවර එහෙම්මම ඇස් ඇරන් සිවිලිම දිහාවට ඒ ඇස් දෙකත් යොමාගෙන අර මිහිරි ඉමිහිරි සුමිහිරි කටහඬින් කියන ශ්ලෝක ගායනාව අහන් උන්නේ හිනා වෙවී.
' දෙයියනේ දෙයියනේ...! මුගෙ කට නම්... බෙන්තර ගඟෙන් එහානේ.. ඒකයි ඔය.. අනේ දෙනුවරයෝ, මූත් එක්ක පවුල් කන්න හීන දකින උඹට දෙයියන්ගෙම පිහිටයි මයෙ අම්මා.. මාළු මන්නෙකින් අහවල් එකත් කපාගන්න පුළුවන් හැබැයි... '
දෙනුවරගේ හිත එහෙම හිතන්න වුණේ හිනා වෙන ගමන්මයි. ටික වෙලාවකින් ඒ හඬ අතුරුදන් වෙලා ගියාට මොකද තාමත් දෙනුවරගේ සවන්පත් අස්සෙ ඒ හඬ රැව් දෙනවා වගේ.
පාන්දර 4.30 ට තියලා තිබ්බ alarm එකත් off කරගෙනම දෙනුවර ඇඳෙන් බැහැලා ගියේ මූණ අත පය සෝදගන්න. පොල් කිරි නැති නිසා මිරිසට හදාගත්තු පරිප්පු කරියට මිරිස් කරලුයි , අබයි , සුදු ලූනුයි එක්ක තෙල් දාගත්තු කොල්ලා lunch box එකට කෑම එකකුත් ලෑස්ති කරගෙනම ලෑස්ති වෙන්න වුණා .
ලෑස්ති වෙන ගමන් උන්නු සත්සිඳු එදා අඳින්න තියන් හිටියේ සුදු පාට අත් දිග ෂර්ට් එකකුයි, දුඹුරු පාට trouser එකකුයි.
' අලුතෙන් ජොක්කු ටිකක් ගන්න ඕනි...'
කළු පාට underwear එක අඳින ගමන් කොල්ලා හිතුවෙ එහෙම. Underwear එකත් දාගෙනම කොල්ලා ගිහින් table එක උඩ තිබ්බ රේඩියෝ එක on කළේ උදේම news යන හින්දා. හිතුවත් වගේම news පටන් ගන්න වෙලාව ඔන්න මෙන්න. එයා ඊට පස්සේ ශර්ට් එකත් ඇඳලා , කලිසමත් ඇඳලා යට කරගෙනම socks දෙක දාගන්න යද්දිම වගේ news පටන් ගත්තා.
" මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි. මෙන්න ප්රවෘත්ති.... "
මීළඟ කොටසට ...