Cherreads

Chapter 2 - 02

සත්සිඳු වෙනදටත් වඩා වේලාසනින් නැගිටලා තමන්ගේ ලැප් එකයි බෑග් එකයි ලෑස්ති කරගෙන වැඩට යන්න ලෑස්ති වුණා . රැජින පාරේ පිහිටලා තියෙන Daily Lanka ප්‍රධාන පුවත්පත් කාර්‍යාලයට කොල්ලා යන්න ලෑස්ති වුණේ අලුත්ම අලුත් හොට්ම හොට් news එකකුත් අරගෙන . දේශපාලනය තඹ සතේකටවත් මායිම් නොකරන කොල්ලා ප්‍රාදේශීය සභා මන්ත්‍රී කාරයට හොඳ අංචියක් අදින්න පුළුවන් විදිහට news එක ලියාගෙන සැදී පැහැදී හිටියා.

" දෙන්නම් මගෙ මැණිකා ගෙදර ගිහින් පැණි වරකා..."

කොල්ලගේ මොලේ play වෙන්න අරන් තිබුණේ ඔය පද ටිකමයි. කොල්ලා ඉතින් කුමාරතුංග මුනිදාස මාවතෙන් බැහැලා පයින්ම ඇවිදන් ගිහින් රැජින පාරට වැටුණා . බෙන්තර ගඟෙන් එහා සුපුරුදු සිනහව සත්සිඳු කොල්ලාගේ මූණේ තිබුණේ කිසි අඩුපාඩුවක් නැතුව. කොල්ලා ලැප් එකත් අරගෙන ප්‍රධාන කර්තෘතුමාගේ කාර්‍යාලයට ඇතුළු වුණේ පට්ටම සතුටකින්. තැනින් තැන සුදු වුණ රැවුලයි කොණ්ඩෙයි , බෝතල් අඩි දෙකක් විතර ලොකු කණ්ණාඩි දෙකයි ප්‍රධාන කර්තෘතුමාට එකතු කරලා තිබුණේ හෙණ පරිණත පෙනුමක්.

" ආ...සත්සිඳු , තමුසෙ ආවද? "

" ඔව් සර්... good morning..."

කොල්ලා සුපුරුදු කපටි හිනාව ලොක්කටත් දාලා එහෙම්මම පුටුවක් ඇදලා අරන් වාඩි වුණා .

" මොකෝ අලුත්ම article එකේ තත්වේ එහෙම ? "

" ලිව්වා සර් ලිව්වා. අරූට...අහ් මේ මන්ත්‍රීතුමාට ඇඬෙන්නම ලිව්වා. මොනා වුණත් සර් කැත වැඩනේ, නේද ? රටේ මිනිස්සුන්ගෙ චන්ද ටික අරන් වටේ ඉන්න බඩුත් එක්ක...අහ් සොරි මේ prostitutes ලත් එක්ක room ගානෙ යනවා කියන්නේ..."

කොල්ලගෙ කටට නම් බ්‍රේක් නෑ. ගිරවෙක් වගේ කියවගෙන කියවගෙන යනවා. කොල්ලා තැනට සුදුසු නුවණ වගේම තැනට සුදුසු වචන පාවිච්චි කරන්නෙත් බොහොම පරිස්සමින් . මොකද බ්‍රේක් නැති වක්කඩ කටින් කියවෙන සමහරක් වචන ගැන කොල්ලටම හරි හමන් අවබෝධයක් නෑ. ඔහේ කියවගෙන යනවා. කොල්ලා ප්‍රධාන කර්තෘතුමා එක්ක කතා බහ කරද්දී නම් සියයට දහස් වාරයක් පරිස්සම් වෙන්න උත්සාහ කරනවා. ඒත් බ්‍රේක් නැති වක්කඩින් පිටවෙන්නෙම අලුගුත්තේරු වචන. තැනට නුසුදුසුයි කියලා හිතෙන වචනයක් කියවුණු ගමන් ලොක්කා කොල්ලගේ මූණ බලන්නේ කණ්ණාඩි දෙකටත් උඩින්. ලොක්කා අවුල් ගියා කියලා දැණුනු ගමන් කොල්ලා බොරු සෝබන හිනාවක් දාලා ආපහු වැදගත් වචනයක් දෙකක් එක්ක කතාව හරිගස්සන්නේ බෙන්තර ගඟෙන් එහා ටිකිරි මොළේ පාවිච්චි කරලා .

" හරි හරි , ඔය මන්ත්‍රීකාරයාගෙ කෙරුවාවෙන් වැඩක් නෑ. මං බැලුවේ තමුසෙට අලුත්ම වැඩක් භාර දෙන්න කියලා ."

ලොක්කා කණ්ණාඩි දෙකටත් උඩින් බලාගෙන කිව්වා.

" ඒ මොකක්ද සර්? "

කොල්ලා හිටියේ මාරම කුතුහලයකින්.

" මේකයි සත්සිඳු, තමුසෙ දන්නවනේ DMS night club එක ගැන. ඒකේ අයිතිකාරයා සමරදිවාකර කියලා මිනිහෙක්. තාම මිනිහා කවුද කියලා කවුරුවත් දන්නෙ නෑ. ඌව කවුරුත් දැකලත් නෑ. හැබැයි මිනිහා ඉන්නවා කියන්නේ හෙණ ගැම්මෙන්. Under World connection පවා මිනිහට තියෙනවා . "

ලොක්කා කියවගෙන යන දිහා කොල්ලා බලන් හිටියේ පුදුමෙන් වගේ. ලොක්කා මේ දේවල් තමන් එක්ක කියන්නෙ ඇයි කියලා සත්සිඳුට ලොකු ප්‍රශ්නයක් . ලොක්කා ටික වෙලාවක් නිහඬ වුණා . ආයෙමත් මේසෙ උඩ තිබ්බ වතුර වීදුරුවෙන් අඩක් වගේ බීලා කතාව පටන් ගත්තා .

" ඔය සමරදිවාකර කියන මිනිහා ලංකාවට කුඩු , අයිස් ගෙන්නන මිනිහෙක්. ඔය club එක කරන් යන්නෙත් ඒවයින් තමා. හැබැයි කොල්ලො වැඩේ කියන්නේ ඌ කළුද සුදුද උසද මිටිද නාකිද තරුණද කියලා මොකෙක්වත් දන්නෑ... "

" සර්..."

" ම්..."

" ඇයි දැන් සර් ඕවා මාත් එක්ක කියන්නේ?"

කොල්ලා ලොක්කගෙන් ප්‍රශ්න කළේ කියවිල්ල ඉවරයක් නැතුව ලොක්කා කයිවාරු ගහන හින්දා .

" මේකයි කොල්ලො, අපි ඔය සමරදිවාකර කියන මිනිහට විරුද්ධව පත්තරේ වෙනම ආර්ටිකල් එකක් වෙන් කරනවා. හැමදාම සතියකට සැරයක් ඌට විරුද්ධව පත්තරේ ආර්ටිකල් එකක් යනවා. නිකන් නෙවෙයි මුල් පිටුවේ...තේරුණාද? "

" හම්මට සිරි සර්...සිරාවටමද ?"

" මොකක්ද ? "

ලොක්කා ආයෙමත් කණ්ණාඩි දෙක උඩින් බලාගෙන ඇහුවා.

" නෑ මං ඇහුවේ ඒක කරනවද කියලා අනිවාරෙන්ම ..."

" නැතුව...ඔන්න බලපන් කොල්ලෝ ඔය ආර්ටිකල් ලිවිල්ලෙන් පස්සෙ Daily Lanka පත්තරේ නැගලා යන හැටි. උණු කැවුම් වගේ විකිණෙන්නේ..."

" අඩෝ මරුනේ සර්..."

කොල්ලා බ්‍රේක් නැති වක්කඩ ආයෙමත් ඇරියා.

" මොකක්ද ? "

" නෑ සර්, නියමයි කියලා කිව්වේ..."

කොල්ලා සුපුරුදු කපටි මොළේ පාවිච්චි කරලා හරි හරියට වචන මාරු කරනවා.

" හොඳම දේ ඒක නෙවෙයි ."

" ඒ මොකක්ද සර්? "

කොල්ලගේ මූණේ තිබුණේ පුදුමාකාර ප්‍රශ්නකාරී බවක්.

" මේ ආර්ටිකල් ටික ලියන්න ඕනි උඹ..."

ලොක්කා ගත් කටටම කියද්දී සත්සිඳුගේ ඇස් උඩ ගියා.

" ට හිකේ සර්... මං...! "

" ඔව්, උඹ තමයි..."

කොල්ලට නිකන් ඔක්කොම දේවල් දවල් පේන හීන වගේ. පුංචි පුංචි ආර්ටිකල් ලිය ලියා ඉඳලා අන්තිමේදී ඉඳලා හිටලා main article එක ලියන්න chance එකක් ලැබුණා කියලා කොල්ලට කවදාවත්ම මේ වගේ අවස්ථාවක් නම් ලැබිලා තිබුණේ නෑ. ඒත් කොල්ලට හීන් දාඩිය දාන්න ගත්තේ මේ ආර්ටිකල් ලිවිල්ල ලියන්න වෙන්නේ සමරදිවාකර කියන ප්‍රබල ව්‍යාපාරිකයාට විරුද්ධව නේද කියලා මත්ක් වුණාට පස්සේ. කොල්ලා බයවෙන්න ලොකුම හේතුව වුණේ සමරදිවාකර පාතාලෙත් එක්ක තියෙනවා කිව්ව සම්බන්ධකම් නිසා. කොහොමින් කොහොම හරි ලොක්කාගෙ idea එක නම් ඒ වැඩේ සත්සිඳුගේ කර පිට පටවන්නම තමා.

" ඌ මාව හොයන් ඇවිල්ලා තුවක්කු බටේකින්වත් කෙළලා යයිද දන්නෑ සර්..."

කොල්ලා කිව්වේ ඇත්තටම බය වෙලා. එසේ මෙසේ බයක් නෙවෙයි. ලොකු බයක්.

" ඔය ඉතින් අයිසේ...තමුසෙ දැන්මම බයවෙලානේ. බයවෙන්න එපා ඕයි. අපි ඉන්නවනේ. තමුසෙ ඕක ලියනවා. "

' මූට නම් මොකද ?මූ නම් කියයි. සමරදිවාකර කියන එකා මාව හොයාගෙන එද්දී මූ මේසෙ යට රිංගයි. මොන පඩත්තර වැඩක්ද මේ වෙන්න යන්නේ? දෙයියනේ , මං කොහොමද ඔච්චර ලොකු ආර්ටිකල් එකක් කරන්නේ? අනික DMS night club එකේ අයිතිකාරයට විරුද්ධව . දෙයියනේ දෙයියනේ ,හිතන්නවත් පුළුවන් වැඩක්ද? ලොක්කගෙ ඔළුව කොහේ හරි වැදිලවත්ද මේ උදේ පාන්දර? මූ මේ හදන්නේ නම් සමරදිවාකරකාරයාට මාව බිලි දෙන්නද කොහෙද? මේ මොන අපරාධයක්ද හත්තිකේ? තාම විසිතුනයි. මට නම් බෑ මෙච්චර ඉක්මනට මැරෙන්න. අයියෝ... තව කොච්චර දේවල් තියෙනවද කරන්න . මොන හෙණ ගෙඩියක්ද සහෝ උඹට පාත් වුණේ ? බෑ කියපං , බෑ කියපං.....' කොල්ලා හිතින් හිතුවෙ එහෙම .

" මොනාද තමුසෙ ඔච්චර කල්පනා කරන්නේ? "

ලොක්කා ඇහුවේ කොල්ලගේ ලොකුම ලොකු කල්පනාව බිඳින ගමන්.

" අහ් නෑ සර්, මේ මේ මේකයි... මං හිතන්නෑ මං වගේ අළුත් කෙනෙක්ට ඔය වැඩේ කරන්න පුළුවන් වෙයි කියලා . ඔය වැඩේ කරන්න පුළුවන් ඕනි තරම් දක්ෂ අය ඉන්නවා. අනික සර් මගේ භාෂාව, ව්‍යාකරණ රටා, අදහස් වගේ දේවල් මං හිතන්නෑ ඔච්චර ලොකු ආර්ටිකල් එකකට ගැලපෙයි කියලා ."

කොල්ලා ලොක්කගේ ඔළුවට සමනල් ගැටේ වට්ටන්න හිතාගෙන කිව්වත් කොල්ලා මේ කියවන්නේ බය වෙලා බව ලොක්කා තේරුම් ගත්තා .

" අනේ යකෝ... ලියන්නත් කලින් උඹ බයවෙලානේ. ඔහොම නම් මේ රස්සාව කරන්න බෑ කොල්ලෝ. මේක මතක තියාගනින්. කොච්චර දක්ෂ උන් හිටියත් මේ ආර්ටිකල් එක කරන්න ඕනි උඹ... උඹ විතරමයි . සත්සිඳු මකරන්ද විතරමයි ."

ලොක්කා කිව්වේ ස්ථීර වශයෙන්ම බව කොල්ලට තේරුණා . තවත් කතා කරන්න ගියොත් වෙන්නේ රස්සාවත් ගහලා යන වැඩක්. ඉතින් කොල්ලා නැට්ට පුපේ ගහගත්තු බලු තඩියෙක් වගේ ලොක්කගේ office room එකෙන් එළියට එන්න ආවා. ලොක්කා ආයෙමත් දොරකඩ ළඟදිම කොල්ලට කතා කළා.

" සත්සිඳු..."

කොල්ලා ආපිට හැරුණා .

" සර්..."

" තමුසෙ බයවෙන්න එපා . අපි ආර්ටිකල් එකට තමුසෙගෙ නම දාන්නෑ. මේක නිර්නාමික ආර්ටිකල් එකක්..."

කොල්ලගේ මූණට හිනාවක් ආවේ ඒ වෙලාවේ.

' හරි කමක් නෑ. කොහොම හරි කරනවා. මට මේ වගේ චාන්ස් එකක් ලැබිච්චි එකම මදැයි... හද්දා පට්ට කෙපර ටිකක් ලිය ලියා සමරදිවාකරයගේ පලු අරින්න ඕනි. එතකොට වැඩේ හරිනේ. Night Club එක ගැන කියන්නත් ඕනි. තව... අහ් තව ඌ නීති විරෝධී මත්ද්‍රව්‍ය ආනයනය කරනවා කියන්නත් ඕනි. වෙන මොනාද ? ලියන එකේ පලු යන්නම ලියන්න ඕනි. ආහ් ගණිකාවන් ආශ්‍රය... හැබැයි මිනිහා ඒවා කරනවද දන්නෑ... කරනවත් ඇති නේද ? Night Club එකක අයිතිකාරයෙක්නේ. කොහොමත් club වල ඕවා වෙනවනේ... බලන් හිටපන්කෝ සමරේ මං බොලාට කරන වැඩේ... '

කොල්ලා වැඩේ කරන්නත් ඉස්සර කරන විදිහත් හිතලා ඉවරයි. කොල්ලට ඉතින් ආර්ටිකල් එකකින් කාගේ හරි පලු අරින්න තියෙනවා නම් ඊට වැඩි දෙයක් නෑ. කොල්ලගේ පරම විනෝදාංශය වුණේ ඒක . කොල්ලා තමන්ගේ ටේබල් එකට වෙලා කොළ ටිකකුත් අරන් කුරුටු ගගා කල්පනා කරන්න ගත්තා.

මීළඟ කොටසට ...

More Chapters